නිම් නැති විශ්වය – මෙසියර් 1 (කකුළු නිහාරිකාව | Crab Nebula)
- වස්තුව – නිහාරිකාවකි (Nebula)
- වර්ගය – සුපර්නෝවා අවශේෂ (Supernova remnant)
- වෙනත් නාමකරණ – මෙසියර් 1 (Messier 1), M1, කකුළු නිහාරිකාව (Crab Nebula), NGC 1952, Sharpless 244, LBN 833, 3C 144
- තාරකා රාශිය – වෘෂභ (Taurus)
- විශුවදංශය (Right Ascension) – 05h 34m 31.94s
- ක්‍රාන්තිය (Declination) – +22° 00’ 52.2”
- පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ (Light Years) 6,500/ කිලෝ පාර්සෙක් 2 (2 Kilo Parsecs)
- දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +8.4
- නිරපේක්ෂ දීප්ත විශාලත්වය (Absolute magnitude) – -3.1
- අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – කලා 7 (7 Arc Minutes)
- විශාලත්වය (අරය) – ආලෝක වර්ෂ 5.5 (පාර්සෙක් 1.7)
මෙසියර් නාමාවලියේ අන්තර්ගත වී ඇති පළමු ගැඹුරු අහසේ වස්තුව මෙසියර් 1 (M1) නොහොත් කකුළු නිහාරිකාව (Crab Nebula) ලෙස හඳුන්වයි. වෘෂභ තාරකා රාශියට (Constellation Taurus) අයත් සුපර් නෝවා අවශේෂයක් (Super Nova Remnant) ලෙස අද වනවිට මෙම වස්තුව වර්ගීකරණය කර ඇත. වර්ෂ 1054 දී චීන තාරකා විද්‍යාඥයින් දිවා කාලයේ පවා නිරීක්ශනය කල හැකි ඉතා දීප්තිමත් තාරකාවක් පිලිබඳව වාර්තා කොට ඇත. මාසයකට ආසන්න කාලයක් අහසෙහි දිස් වුනු මෙම තාරකාව ඔවුන් “ආගන්තුක තාරකාව (guest star)” ලෙස නම් කරන ලදී. ඓතිහාසික හා විද්‍යාත්මක දත්ත සංසන්දනය කිරීමේදි, ඔවුන් නිරීක්ෂණය කළ එම සංසිද්ධිය අන් කවරක් වත් නොව කකුළු නිහාරිකාව (Crab Nebula) බිහිවීමට මුල් වූ SN1054 සුපර්නෝවා පිපිරීම (Supernova Explosion) ලෙස පසු කාළයක නිගමනය කරන ලදී. කකුළු නිහාරිකාව සුපර්නෝවා පිපිරීමක් අනුසාරයෙන් හඳුනාගත් පළමු තාරකා විද්‍යාත්මක වස්තුව ලෙස ඉතිහාස ගත වී ඇත.
දෘශ්‍ය දීප්ත විශාලත්වය +8.4 වන මෙම නීහාරිකාව පියවි ඇසට නොපෙනෙන නමුත් ඉතා පැහැදිලි අහසක ඇති ස්ථානයක දී කුඩා දුරෙක්ශයක් හෝ දෙනෙතියක් අධාරයෙන් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ක්ෂීරපථ මන්දාකිනියේ (Milky Way Galaxy) පර්සියස් බාහුවේ (Perseus Arm) පිහිටා ඇති මෙම නිහාරිකාව පෘථිවියේ සිට කිලෝපාර්සෙක් (Kilo Parsec) 2 ක් (ආලෝක වර්ෂ 6,500) දුරින් පිහිටා ඇත. එහි විෂ්කම්භය පාර්සෙක් (Parsec) 3.4 (ආලෝක වර්ෂ 11) පමණ වන අතර එය අහසේ කලා 7 (7 Arc Minutes) පමණ විෂ්කම්භයක් ආපාතනය කරයි. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද නිරීක්ශන වලට අනුව මෙම නීහාරිකාව තත්පරයට කිලෝමීටර් 1,500 ක වේගයකින්, එනම් ආලෝකයේ වේගයෙන් 0.5% ක වේගයෙන් ප්‍රසාරණය වන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.
මෙම නිහාරිකාවේ මධ්‍යයේ කිලෝමීටර් 30 පමණ විෂ්කම්භයක් ඇති නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) පිහිටා අති අතර, එය තත්පරයට 33 වාරයක් භ්‍රමණය වන පල්සාරයක් (Pulsar) ලෙසද පෘතුවියේ සිට නිරීක්ශනය කල හැකි වේ. කකුළු පල්සාරය (Crab Pulsar) ලෙස හැඳින්වෙන මෙම පල්සාරය දෘශ්‍ය, ගුවන්විදුලි, පාරජම්බුල, එක්ස් සහ ගැමා කිරණ, (Visual, Radio, Ultra Violet, X and Gamma Rays) ආවර්තීයව විමෝචනය කරයි. PSR0531+21 ලෙස ලැයිස්තුගත කර ඇති මෙම පල්සාරය රාත්‍රී අහසේ නිරීක්ශනය කල හැකි ලාබාලතම පල්සාරය ලෙස හැඳින්විය හැකිය. 1949 මෙසියර් 1, ප්‍රභල ගුවන් විදුලි තරංග විමෝචන ප්‍රභවයක් ලෙස Taurus A සහ 3C 144 ලෙස ලැයිස්තුගත කර ඇත. තවද මෙම නිහාරිකාවෙන් එක්ස් කිරණද විමෝචනය වන බව 1963 අප්‍රේල් මාසයේදී අනාවරණය වූ අතර එක්ස් කිරණ ප්රභවය Taurus X-1ලෙස නම් කරන ලදී. මෙසියර් 1 යනු එක්ස් සහ ගැමා තරංග ආයාමයන්හි කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 30 ට (30 KeV) වඩා ඉහල ශක්තියක් නිරීක්ශණය කල හැකි ආකාශ වස්තුන් අතර ප්‍රභලතම අඛන්ඩ එක්ස් කිරණ සහ ගැමා කිරණ ප්රභවයයි.
මෙසියර් 1 නොහොත් කකුළු නිහාරිකාව (Crab Nebula) පිහිටා ඇත්තේ වෘෂභ තාරකා රාශියේ දකුණු අඟ කොටස අසල ය. සීටා ටෝරි (Zeta Tori) නම් දීප්තිමත් තාරකාවේ සිට අංශක 1 ක් පමණ වයඹ දෙසින් වන්නට කකුළු නිහාරිකාව සොයාගත හැක (මේ සමග ඇති තාරකා සිතියම බලන්න). එය දුරදක්නවලට අඳුරු ආලෝකයක් ලෙස දර්ශනය වේ. කකුළු පල්සාරයෙහි (Crab Pulsar) දෘශ්‍ය දීප්ත විශාලත්වය +16 වන අතර විශාල දුරේක්ෂවලින් (අඟල් 20 ක් හෝ ඊට වැඩි) පැහැදිලි අහසකින් හා ආලෝක දූෂණයකින් තොර ඉතා හොඳ නැරඹුම් තත්වයන් තුළ පමණක් දැකගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාවවේ ජීවත් වන ඔබට මෙසියර් 1 නිරීක්ෂණය කිරීමට හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට පෙබරවාරි මාස අතර කාළයයි.
මූලාශ්‍ර :
International Astronomical Union (IAU)
The National Aeronautics and Space Administration (NASA)