පැරණිතම හා විශාලතම කෞතුකාගාරය අපිත් නරඹමු
ඔබ දන්නා පරිදි සෑම රටකම ඒ ඒ රටට අදාලව පැරණි සිහිවටන ඓතිහාසික වටිනාකමකින් යුතු ගෘහභාණ්ඩ යුධෝපකරණ ආදි නොයෙක් නොයෙක් දේ තැන්පත් කර ඇත්තේ කෞතුකාගාර තුලයි. කෞතුකාගාරයක් යනු පැරණි මතක රැගත් ස්ථානයක් ලෙස උවද හැඳින්විය හැක. මේ ලිපිය තුලින් මා ඉදිරිපත් කරන්නේ විශාලතම හා පැරණිතම කෞතුකාගාරය පිළිබඳ සටහනකි.
කෞතුකාගාරයකට යනවිට බොහෝවිට එහි නඩත්තුව සඳහා ටිකට් පතක් මිලදී ගැනීමට ඔබට සිදුවේ. ඇතැම් විට අවසර ගැනීම් සඳහාද පෝලිම් වල ලතැවෙන්නටද සිදුවේ. කොටින්ම ඔබ ඒ ස්ථානයට පලමුව යා යුතු වේ. නමුත් ඔබ දන්නවාද කිසිදු මුදලක් වියදම් නොකර නිවසේ සිටම පැරණි , ඇත්තවශයෙන්ම පැරණිතම කෞතුකාගාරය නැරඹීමේ හැකියාවක් ඔබට ඇති බව!!!!
මෙතැන් සිට ඒ ගැන…….
ඒ තමා අහස!!!
අහස??
ඇයි අපි අහසට එහෙම කියන්නේ??
ඔබ අහසේ දකින සෑම දෙයක්ම වාගේ ඔබ දකිනවට වඩා පැරණි බව ඔබ දන්නවාද??
මන් ඒක මෙහෙම කියන්නම්.
ඔබ ඉර දිහා බලනවා. (පියවි ඇසෙන් බලන්න උත්සහ කරන්න එපා, ඒක ඇස් වලට හොඳ නැහැ) ඔබ ඉර දකිනව. නමුත්…..
නමුත් ඔබේ ඇසට දර්ශනය වන්නේ විනාඩි 8කට පෙර තිබූ ඉරයි. එහෙනම් දැන් ඉර කෝ??
අන්න ඒ දැන් ඉර බලන්න නම් තව විනාඩි 8 ඉවසන් ඉන්න වෙනවා.
මොක්කද මේ කතාවේ තේරුම???
ඇත්ත්ටම වෙන්නේ මේකයි, ඉරෙන් නිකුත් වෙන ආලෝක කිරණයක් පෘථිවියට ලඟා වෙන්නට විනාඩි 8කට ආසන්න කාලයක් ගතවෙනවා. එසේනම් අපි ඉර දකින සෑම මොහොතකම එය විනාඩි 8කට ආසන්න කාලෙකින් වයසට ගිහින්.
දැන් මේ කතාව අපි අනිත් තරු වලට දාල බලමු.
ඉරට පස්සේ අපිට ළඟම තරුව තමා ප්‍රොක්සිමා සෙන්චරි. (පියවි ඇසින් දැකගන්නට අපහසුයි) ඒකට තියෙන දුර ආලෝක වර්ෂ 4.2ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ඒකෙන් නිකුත් වෙන ආලෝක කිරණයක් පෘථිවයට ළඟාවෙන්නේ අවුරුදු 4.2කට පස්සේ. එහෙනම් මේ මොහොතේ ඔබ ප්‍රොක්සිමා සෙන්චරි නිරීක්ෂණය කරනවා නම් ඔබ ඇත්තටම ඒ දකින්නේ අවුරුදු 4.2 කට පෙර තිබු විදිහයි.
මේක ටිකක් අමුතු කතාවක් නේද…!!!
එච්චර පරණද…!!!
හරි අපි ගමු අපිට හොඳට පේන තරුවක්! රාත්‍රී අහසේ දීප්තිමත්ම තරුව, සීරියස් තරුව (ඇල්ෆා කානිස් මේජර්). මේ තරුවට දුර ආ.ව. 8.1ක් පමණ වෙනවා. මේ මොහොතේ ඔබ පියවි ඇසින් සීරියස් තරුව නිරීක්ෂණය කලානම්, ඇත්තටම ඔබ ඒ දකින්නේ අවුරුදු 8.1 එකකට පෙර තිබු සීරියස් තරුවයි. පොඩ්ඩක් හිතල බලන්න අවුරුදු 8 කට විතර කලින් ඔබ කොයි වගේද කියලා. අන්න ඒ කාලේ තිබුන සීරියස් තරුව ඔබ අදදැක්කා.
හරි පුදුමයි නේද…
ඇත්තටම සීරියස් තරුවේ අද ස්වභාවය අපිට බලාගන්න බැරිද??
බලාගන්න පුලුවන්.
හැබැයි තව අවුරුදු 8.1ක් ට පස්සෙ බලන්න ඕනේ. ඒ කාලෙ වෙද්දි අපි කොහොම ඉඳීවිද..!!
ළඟම තරුත් මෙච්ච්ර පරණයි නම්, අපි දකින අනිත් තරු තව කොච්චර පරණ ඇත්ද!!
මේ විදිහට හිතුවම අපි මේ දකින්නේ හරිම පරණ දේවල් නේද!!
නිකන් හිතල බලන්නකෝ ආලෝක වර්ෂ 100ක් ඈතින් තියෙන දෙයක් නිරීක්ෂණය කරනවා කියලා. එහෙනම් ඒ අපි දකින්නේ ඒ වස්තුව 1920 දී තිබුන ස්වභාවයයි.
එතකොට ආලෝක වර්ෂ මිලියනයක් හෝ නැතිනම් ආලෝක වර්ෂ බිලියනයක් ඈතින් තියෙන තරුවක්..!!! එහෙම එකක් දැන් දකිනවා උනත්, සමහරවිට දැන් ඒ තරුව විනාශ වෙලා තියෙන්නත් පුලුවන්. එහෙනම් දැන් ඇත්තටම නොපවතින දෙයක් ඔබ දැකලා.
අහස, කෞතුකාගාරයක් කියන්නේ ඇයි කියන එක දැන් ඔබට තේරුනා නේද..!!
මේ අහස බලන්න ඔබ කිසිම මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ. කොහේවත් නොයා ගෙදර ඉඳන්ම බලන්න පුලුවන්.. දකින අහසේ පරාසයක් කියන්න බැහැ. ඒතරමටම ලොකුයි මේ අහස.
එහෙනම් මේ අපේ හිසට ඉහලින් තිබෙන්නේ, පැරණිතම, විශාලතම කෞතුකාගාරය යි.
විනෝදාංශයක් විදිහට අහස නිරීක්ෂණය කරන්න පටන් ගන්න. කෞතුකාගාරයේ පැරණි දේවල් වල සුන්දරත්වය දකින්න. ඒ ගැන සොයන්න. ඒ දැනුම හැමෝමත් එක්කම බෙදාගන්න.
ඡායාරූප – දම්සිත් ආසිරි වීරසිංහ