නිම් නැති විශ්වය – මෙසියර් 2 (ගෝලීය තරු පොකුර)
වැදගත් කරුණු :
වස්තුව – තරු පොකුරකි (Star Cluster)
වර්ගය – ගෝලීය (Globular)
වෙනත් නාමකරණ – මෙසියර් 2 (Messier 2), M2, NGC 7089, GC 4678, Bode 70
තාරකා රාශිය – කුම්භ (Aquarius)
විශුවදංශය (Right Ascension) – 21h 33m 27.02s
ක්‍රාන්තිය (Declination) – -00° 49’ 23.7”
පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ (Light Years) 39144/ කිලෝ පාර්සෙක් 12 (Kilo Parsecs)
දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +6.3
නිරපේක්ෂ දීප්ත විශාලත්වය (Absolute magnitude) – -3.1
අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – කලා 16 (16 Arc Minutes)
විශාලත්වය (අරය) – ආලෝක වර්ෂ 87.3
වයස – වසර බිලියන 13
අන්තර්ගත තාරකා ප්‍රමානය – 150,000
හැදින්වීම
මෙසියර් 2 (M 2) යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39,144 ක දුරින් පිහිටා ඇති ගෝලීය තරු පොකුරකි.
මෙම තාරකා පොකුර පිහිටා ඇත්තේ කුම්භ (Aquarius) තාරකා රාශියේය. ආලෝක වර්ෂ 175 පමන විෂ්කම්භයක් ඇති මෙම තරු පොකුර දැනට සොයාගෙන ඇති විශාලතම ගෝලීය තාරකා පොකුරු වලින් එකකි.
පිහිටීම
මෙසියර් 2 කුම්භ (Aquarius) තාරකා රාශියේ දීප්තිමත් තාරකාවක් වන බීටා ඇක්වාරි (Beta Aquarii) හෙවත් සඩ්අල්සූඩ් (Sadalsuud) නම් තාරකාවේ සිට අංශක පහක් උතුරින් පිහිටා ඇත. දෘශ්‍ය දීප්ත විශාලත්වය +2.87 කින් යුත් සඩ්අල්සූඩ් (Sadalsuud) යනු කුම්භ (Aquarius) තාරකා රාශියේ දීප්තිමත්ම තාරකාවයි. තවද කුම්භ (Aquarius) තාරකා රාශියේ දෙවන දීප්තිමත්ම තාරකාව වන ඇල්ෆා ඇක්වාරි (Alpha Aquarii ) හෙවත් සඩ්අල්මෙලික් (Sadamelik) නම් තාරකාව හා මෙසියර් 2 එකම ක්‍රාන්ති රේඛාවක නිරීක්ශනය කල හැක. සඩ්අල්සූඩ් (Sadalsuud), සඩ්අල්මෙලික් (Sadamelik) සහ මෙසියර් 2 රාත්‍රී අහසේ විශාල සෘජු කෝණී ත්‍රිකෝණයක් සාදයි. (මේ සමග ඇති තාරකා සිතියම බලන්න).
දෘශ්‍ය දීප්ත විශාලත්වය +6.3 වන මෙම ගෝලීය තරු පොකුර පැහැදිලි අහසක් සහ ආලෝක දූෂණයක් නොමැති ඉතා හොඳ නැරඹුම් තත්වයන් වලදී පියවි ඇසින් නිරීක්ශණය කල හැකිවේ. ශ්‍රී ලංකාවවේ ජීවත් වන ඔබට මෙසියර් 2 නිරීක්ෂණය කිරීමට හොඳම කාලය වන්නේ ජූලි සිට ඔක්තෝබර් මාස අතර කාළයයි.
මෙම තාරකා පොකුර දෙනෙති හා කුඩා දුරේක්ෂ වලින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි නමුත් තාරකා තනි තනි වශයෙන් නිරීක්ශනය කල හැකි වන්නේ අවනෙත අඟල් 6 ට වඩා විශාල දුරේක්ෂ වලින් පමණි. තවද ප්‍රමානවත් විශාලත්වයක් ඇති දුරේක්ශයක් තුලින් මෙම තරු පොකුර නරඹන විට එහි ඊසාන දිග ප්‍රදේශයට වන්නට සුවිශේෂී අඳුරු තීරුවක්ද නිරීක්ශනය කල හැක.
නිරීක්ෂණ ඉතිහාසය
1746 සැප්තැම්බර් 11 වන දින ඉතාලි සම්භවයක් ඇති ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥය ජීන් ඩොමිනික් මරාල්ඩි (Jean-Dominique Maraldi) විසින්, තවත් ප්‍රංශ තාරකා විද්‍යාඥයෙක් වන ජාක් කැසිනි (Jacques Cassini) සමඟ වල්ගා තරුවක් නිරීක්ෂණය කරමින් සිටියදී මෙම වස්තුව පලමු වරට නිරීක්ශනය කරන ලදී.
චාල්ස් මෙසියර් (Charles Messier) 1760 සැප්තැම්බර් 11 වන දින මාරල්ඩිගේ සොයාගැනීමෙන් හරියටම වසර 14 කට පසුව මෙම තාරකා පොකුර හඳුනා ගන්නා ලද අතර, එය කිසිදු තාරකාවක් අඩංගු නොවන නීහාරිකාවක් ලෙස ඔහුගේ වාර්තා වල සටහන් තබා ඇත. මෙසියර් නාමාවලියේ අන්තර්ගත වී ඇති පළමු ගෝලීය තරු පොකුර මෙසියර් 2 (M2) යි.
1783 දී ජර්මානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥය විලියම් හර්ෂල් M2 ඇති තාරකා වෙන් වෙන් වශයෙන් පළමුව නිරීක්ශනය කරන ලදී. මෙම තාරකා පොකුර ඉතා ඈතින් ඇති නිසාත් එහි ඇති තාරකා පැරණි නිසාත් තාරකා තනි තනි වශයෙන් නිරීක්ශනය කිරීම සඳහා විශාල දුරේක්ෂ අවශ්‍ය වේ. ගෝලීය තරු පොකුරු වල දුර්ලභ ව දැකිය හැකි සූර්යයාට සමාන තාරකා සහ නිල් ස්ට්රැග්ලර් තාරකා (Blue Straggler) පමණක් වෙන් වෙන් වශයෙන් දැකිය හැකිය. නිල් ස්ට්රැග්ලර් තාරකා (Blue Straggler) යනු තාරකා පොකුරු වල දක්නට ලැබෙන, ප්‍රධාන අනුක්‍රමණයේ තාරකා (Main Sequence stars) වර්ගයක් වන අතර ඒවා සමාන්‍ය ප්‍රධාන අනුක්‍රමණයේ තාරකා (Main Sequence stars) වලට වඩා නිල් පැහැයෙන් හා දීප්තියෙන් යුක්තය.
ව්‍යුහය හා සංයුතිය
මෙසියර් 2 ක්ෂීරපථයට මන්දාකිනියට අයත් පැරණිම ගෝලීය පොකුරු වලින් එකකි. එහි වර්ණ-විශාලත්ව සටහනට (color-magnitude diagram) අනුව, මෙසියර් 2 වසර බිලියන 13 ක් පමණ පැරණි ගෝලීය තරු පොකුරකි ලෙස 1962 දී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥය හැල්ටන් ආර්ප් (Halton Arp) විසින් සොයාගන්නා ලදී. අප දන්නා පරිදි විශ්වයේ ආයු කාලයද වසර බිලියන 13.8 පමණ වේ. එයින් අදහස් වන්නේ මහා පිපුරුම සිදුවී වසර බිලියනයක් තරම් අඩු කාලයකදී මෙම තරු පොකුරු සෑදී ඇති බවයි. මෙම පොකුරු සැලකිය යුතු ඉලිප්සීයතාවයකින් (ellipticity) යුක්ත වේ (ඉලිප්සීයතාව 9, හෝ E1).
මෙසියර් 2 ඉතා අධික තාරකා ඝනත්වයකින් යුක්ත වන අතර ආලෝක වර්ශ 175 ක විශ්කම්භයක් තුල තාරකා 150,000 පමණ අන්තර්ගත වන බව සොයාගෙන ඇත. තවද මෙම තාරකා පොකුරේ ආලෝක වර්ෂ 3.7 ක විෂ්කම්භයක් ඇති හරය ප්‍රදේශයද අධික තාරකා ඝනත්වයකින් යුක්තවන අතර එය තාරකා ඝනත්ව පරිමාණයෙන් (density class) II පන්තියට අයත් වේ. තාරකා ඝනත්ව පරිමාණය I සිට XII දක්වා ව්‍යාප්ත වන අතර I මගින් උපරිම තාරකා ඝනත්වයද XII මගින් අවම තාරකා ඝනත්වයද නිරූපණය කරයි. ඊට අමතරව මෙම ගෝලාකාර තරු පොකුර මගින් ආලොක වර්ශ 233 පමණ අරයක් සහිත ප්‍රදේශයකට එහි ගුරුත්වාකර්ශන බලපෑම ඇති කරනු ලබන බවද නිරීක්ශණය කර ඇත.
මෙසියර් 2 ගෝලීය තරු පොකුරේ අපගේ මන්දාකිනියේ පැරණිතම තරු සමහරක් අඩංගු වේ. එම තාරකා සූර්යයාට වඩා බොහෝ පැරණි බැවින් ඒවායේ හයිඩ්රජන් හා හීලියම් වලට වඩා බරින් යුත් මූලද්‍රව්‍ය අන්තර්ගතව ඇති අතර, ඒවායේ පෘථිවියට සමාන ග්‍රහලෝකවල පැවැත්මට ඇති සම්භාවිතාවය ඉතා අඩු අගයක් ගනී.
මෙසියර් 2 හි දීප්තිමත්ම තාරකා දෘශ්‍ය දීප්ත විශාලත්වය +13.1 පමණ වන රතු සහ කහ යෝධ තාරකා වේ. එමෙන්ම පොකුරේ සමස්ත වර්ණාවලි වර්ගය (overall spectral type) F0 ලෙස වර්ගීකරණය කල හැක. තවද 2012 වර්ශය වන විට මෙසියර් 2 ගෝලීය තරු පොකුරේ විචල්‍ය තාරකා (variable stars) 42 ක් සොයාගෙන ඇත. ඒවායින් බොහොමයක් ආර් ආර් ලයිරී (RR Lyrae) වර්ගයේ කෙටි ආවර්ත කාලයක් ඇති “පොකුරු විචල්‍යයන්” (“cluster variables”) වන අතර, ඒවා A හෝ F වර්ණාවලි පන්තියට (spectral class) අයත් වේ. මෙම තාරකා සාමාන්‍යයෙන් සූර්යයා මෙන් අඩක් තරම් විශාල වන අතර ගෝලීය තරු පොකුරු වල බහුලව දක්නට ලැබේ. මන්දාකිණි වලට ඇති දුර මැනීම සඳහා ආර් ආර් ලයිරී (RR Lyrae) විචල්‍යයන් බොහෝ විට සම්මත ලෙස භාවිතා කරයි. විචල්‍ය තාරකා 42 න් තුනක්, සාම්ප්‍රදායික II වර්ගයේ සෙෆීඩ් විචල්‍ය තාරකා හෙවත් W වර්ජිනිස් තරු (classical Cepheids of type II or W Virginis stars) වේ. සෙෆීඩ් විචල්‍ය තාරකා දීප්තිමත් තාරකා වන අතර ඒවාද මන්දාකිණි වලට ඇති දුර මැනීම සඳහා දර්ශක ලෙස ක්‍රියා කරයි. විචල්‍ය තාරකා 42 න් එක් විචල්‍ය තාරකාවක් ආර්.වී. ටෝරි (RV Tauri) වර්ගයේ තාරකාවක් වන අතර, එය දින 69.09 ක ආවර්ථ කාලයක් තුළ විචලනය වෙමින් දිලෙයි. මෙසියර් 2 හි නැගෙනහිර කෙළවරේ පිහිටා ඇති මෙම තාරකාව එහි දීප්තිමත්ම විචල්‍යය තාරකාව වේ. තැඹිලි-රතු යෝධ තාරකාවක් වන මෙය ජීවිතයේ අවසාන කාලයට වේගයෙන් ළඟා වන අතර අනාගතයේදී බොහෝ විට පිටත කබොල ඉවත් කර ග්‍රහලෝක නිහාරිකාවක් (planetary nebula) නිර්මාණය කර අවසානයේ සුදු වාමන තාරකාවක් (white dwarf star) ලෙස සිය අවසාන කාලය ගෙවා දමනු ඇත. මෙසියර් 2 ගෝලීය තරු පොකුරේ මේ දක්වා පල්සාර් (Pulsars) කිසිවක් සොයාගෙන නොමැත.
මෙසියර් 2 ඉතා අඩු වේගයකින් එනම් තත්පරයට කිලෝමීටර 5.3 ක වේගයකින් පෘතුවිය වෙත ළඟා වන බව නිරීක්ශණය කර ඇත. ක්ෂීරපථයට මන්දාකිනියේ ප්‍රභා ගෝලයේ (Galactic halo) පිහිටා ඇති එය “එච් 2” හැලෝ ගෝලාකාර තරු පොකුරක් (“H2” halo globular) ලෙස වර්ගීකරණය කර ඇත. මන්දාකිනිය තුළ එහි කක්ෂය තීරණය කිරීම සඳහා, මන්දාකිණි කේන්ද්‍රයට සාපේක්ෂව පිහිටීම (position with respect to the Galactic center) සහ පොකුරේ අවකාශයේ ප්‍රවේගය (space velocity) දැනගත යුතුය. එහි කෝනික ප්‍රවේගය (radial velocity) මනාව තීරණය කර ඇති හෙයින්, එහි අවකාශයේ වේගය තක්සේරු කිරීම සඳහා ගෝලීය පොකුරේ සාපේක්ශ චලිතය (proper motion) නිවැරදිව තීරණය කිරීම ඉතා වැදගත් වේ. මෑත කාලීනව හිපාර්කස් චන්ද්‍රිකාව මගින් රැස් කරගත් දත්ත භාවිතා කර කළ ගනනය කිරීම් වලට අනුව මෙසියර් 2, මන්දාකිනිය තලයට ඉහළින් හා පහළින් ආලෝක වර්ෂ 165,000 ක් ඈතින් අතිශය විකේන්ද්‍රික (highly eccentric, e=0.76) කක්ශයක ක්ෂීරපථ මන්දාකිනිය වටා ගමන් ගන්නා බව සොයා ගෙන ඇත.
ලබන සතියේ නිම් නැති විශ්වය තුලින් ඔබ වෙත ගෙන එමට බලාපොරොත්තු වන්නේ මෙසියර් 3 (Messier 3) ගෝලීය තාරකා පොකුර (Globular Cluster) ගැන විස්තරයි. එසේ නම් සතියක විරාමයකින් යලි ඔබ හමුවෙමු.