නිම් නැති විශ්වය – මෙසියර් 104 ( Sombrero Galaxy)
වැදගත් කරුණු :
වස්තුව – චක්රාවාටයකි (Galaxy)
වර්ගය – සර්පිලාකාර (Spiral)
පංතිය (Class) : SA(s)a
වෙනත් නාමකරණ – මෙසියර් 104 (Messier 104), M104, NGC 4594, සොම්බ්රෙරෝ චක්‍රාවාටය (Sombrero Galaxy), PGC 3132, UGC 293, AT20G J123959-113721, 1E 1237.3-1120, 2E 2814, EQ 1237-113, IERS B1237-113, ICRF J123959.4-113722, IRAS 12373-1121, 2MASX J12395949-1137230, MCG-02-32-020, NVSS J123959-113723, 1RXS J123959.8-113725, VCS4 J1239-1137
තාරකා රාශිය – කන්‍යා (Virgo)
විශුවදංශය (Right Ascension) – 12h 39m 59.4s
ක්‍රාන්තිය (Declination) – -11° 37′ 23″
පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ මිලියන 29.3 (29.3 Million Light years)/ මෙගා පාර්සෙක් 8.98 (8.98 Mega Parsecs)
දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +8.98
අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – 8′.7 x 3′.5
විශාලත්වය (විශ්කම්භය) – ආලෝක වර්ෂ 5,0000 (පාර්සෙක් 15,329.74)
හැදින්වීම
මෙසියර් 104 (M 104) නොහොත් සොම්බ්රෙරෝ චක්‍රාවාටය (Sombrero Galaxy), කන්‍යා තාරකා රාශියට (Virgo Constellation) අයත්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 29.3 ක් දුරින් පිහිටා ඇති ඉතා අලංකාර සර්පිලාකාර චක්රාවාටයකි (Spiral Galaxy). තාරකා බිලියන 100 පමණ ඇති මෙම චක්‍රාවාටයේ පෙනුම මෙක්සිකානු සොම්බ්රේරො තොප්පියකට සමාන වන නිසා එයට මෙම නම පටඹැදී ඇත.
පිහිටීම
මෙම චක්‍රාවාටයේ දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent Magnitude) +8.98 වේ. එම නිසා මෙය පියවි ඇසින් දැක බලා ගැනීමට නොහැකිය. නමුත් කුඩා දුරේක්ෂයකින් හෝ දෙනෙතියක් මගින් ඉතා කුඩා අඳුරු ආලෝක ප්‍රදේශයක් ලෙස මෙම චක්‍රාවාටය නිරීක්ෂණය කළ හැක. මෙම චක්‍රාවාටය වටා ඇති අඳුරු වායු හා දූවිලි වලා පටලය නිරීක්ෂණය කිරීමට අඟල් 4 අවනෙත් විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් වත් අවශ්‍ය වන අතර, වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට අඟල් 10 – 12 පමණ දුරේක්ෂයක් වත් අවශ්‍ය වේ. මෙම චක්‍රාවාටය කන්‍යා තාරකා රාශියේ දීප්තිමත්ම තාරකාව වන ස්පයිකා තාරකාවේ සිට අංශක 11.5 ක් බටහිරින් පිහිටා තිබෙන අතර කපුටා තාරකා රාශියේ (Corvus Constellation) ඊටා කොර්වී (Eta Corvi) තාරකාවට අංශක 5.5 ක් නැගෙනහිරින් පිහිටා ඇත. කපුටා තාරකා රාශියේ මායිමට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම චක්‍රාවාටය නිරීක්ෂණය කිරීමට වසරේ හොඳම කාලය වසන්ත කාලයයි.
ව්‍යුහය හා සංයුතිය
මෙම චක්‍රාවාටය අපගේ දෘෂ්ටි රේඛාවට (Line of Sight) අංශක 7 ක තරම් අඩු කොණයකින් පිහිටා ඇති නිසා චක්‍රාවාටයේ පැත්තෙන් අපට දිස්වේ. එමනිසා එහි සර්පිල බාහු පැහදිලිව නොපෙනෙන අතර චක්රාවටයේ දාරය වටා ඇති දුවිලි හා වායු සහිත අඳුරු පටලය හා එහි දෙපසට නෙරා ආ දීප්තිමත් හරය (Galactic Bulge) මෙන්ම එය වටා ඇති ඇති ප්‍රභා මණ්ඩලය ද පැහදිලිව දිස්වේ. මෙම අඳුරු පටලය වලල්ලක් ආකාරයෙන් චක්‍රාවාටය වටා පිහිටා ඇති අතර එය සීතල හයිඩ්රජන් වායුව හා දූවිලි වලින් සමන්විත වේ. මෙම ප්‍රදෙශය තුල ඉතා අධික ලෙස තාරකා උපදින (Star Burst Regions) බව නිරීක්ෂනය කර ඇත.
තවද මෙම චක්‍රාවාටය තත්පරයට කිලෝමීටර් 1024 (1024 km/s) පමණ වේගයකින් අප වෙතින් ඉවතට ගමන් ගන්නා බව ලෝවල් නිරීක්ශනාගාරයෙන් (Lowell Observatory) ලබාගත් දත්ත අනුසාරයෙන් ඇමරිකන් ජාතික විද්‍යාඥ වෙස්ටෝ ස්ලයිෆ (Vesto Slipher)1912 දී සොයාගන්නා ලදී. එම නිසා එම චක්‍රාවාටයේ රක්ත විස්ථාපනය (Red Shift) ඉතා ඉහළ අගයක් ගන්නා ලද අතර එවකට ඕනෑම් අභ්‍යාවකාශ වස්තුවක නිරීක්ෂණය කර තිබූ විශාලතම රක්ත විස්ථාපනය ද එය විය. මෙම නිරීක්ෂණය පසුකලක මහා පිපුරුම් වාදය (Big Bang Theory) සනාථ කිරීම සඳහා ද උපයෝගී කර ගන්නා ලදී.
තාරකා විද්‍යාඥයන් විසින් මෙම චක්‍රාවාටය තුළ ගෝලාකාර තරු පොකුර (Globular Star Clusters) 1200ක් 2000 ත් අතර විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇත. සොම්බ්රේරො චක්‍රාවාටයේ දීප්තතාවයේ (Luminosity) හා ගෝලාකාර තරු පොකුරු සංඛ්‍යාවේ අනුපාතය, අප ජීවත් වන ක්ෂීරපථ චක්‍රාවාටයට මෙන්ම කුඩා හරයක් ඇති චක්රාවාටවලට සාපේශව ඉතා විශාල අගයක් ගනී. නමුත් සොම්බ්රේරො චක්‍රාවාටය වැනි විශාල මෙන්ම වැඩිපුර නෙරා ආ හරයක් සහිත චක්‍රාවාට වලට මෙම අගය සාමන්‍ය අගයකි. මෙම නිරීක්ශනය පදනම් කොටගෙන චක්‍රාවාට වල හරයේ විශාලත්වය හා එහි අඩංගු ගෝලාකාර තරු පොකුරු සංඛ්‍යාව අතර සම්බන්ධයක් ඇති බව විද්‍යාඥයන් මත පල කොට ඇත.
තවද මෙම චක්‍රාවාටයේ හරයේ ඇති තාරකා ඉතා විශාල වේගයෙන් හරය වටා භ්‍රමණය වන බව සොයාගෙන ඇත. එමගින් එම චක්‍රාවාටයේ හරයේ අධි ස්කන්ධ කලුකුහරයක් (Super Massive Blackhole) ඇති බවට සාක්ෂි සපයයි. එම කළු කුහරය සූර්ය ස්කන්ධ බිලියන 1 පමණ වන අතර එය මෙතෙක් චක්‍රාවාටයක් හරයේ සොයාගත් විශාලතම කළු කුහරයන්ගෙන් එකක් වේ.
සොම්බ්රෙරෝ චක්‍රාවාටය අයත්වන්නේ කුමන චක්‍රාවාට පොකුරට දැයි තවමත් විද්‍යාඥයන් හට නිසි අවබෝධයක් නොමැත. වර්ගෝ චක්‍රාවාට පොකුරට (Virgo Cluster of Galaxies) දකුණින් පිහිටි NGC 4487, NGC 4504, NGC 4802, UGCA 289 යන චක්රාවටද අයත් කුඩා සංකීර්ණ චක්‍රාවාට පොකුරකට මෙය අයත් යයි ඔවුන් මත පළ කරති.
තවද සොම්බ්රෙරෝ චක්‍රාවාටයට සහචර වාමන චක්‍රාවාටයක් ඇති බව 2009 දී පළමුවරට නිර වරට නිරීක්ෂණය කරන ලදී. අධි ඝනත්ව වාමන චක්‍රාවාටයක් (ultracompact dwarf galaxy – UCD) වන මෙය අධික තාරකා ඝනත්වයකින් යුක්ත වේ. අධි ඝනත්ව වාමන චක්‍රාවාට යනු විනාශ වූ වාමන ඉලිප්සාකාර චක්‍රාවාටවල (Dwarf Elliptical Galaxies) හරයන් බව විද්‍යාඥයන්ගේ මතයයි
නිරීක්ෂණ ඉතිහාසය
M 104 චක්‍රාවාටය පළමුවරට නිරීක්ශණය කරන ලද්දේ චාල්ස් මෙසියර් (Charles Messier) ගේ සගයෙකු වන ප්‍රංශ ජාතික පියරි මිශාන් (Pierre Méchain) විසින්ය. ඒ 1781 මැයි මස 11 වැනි දින දීය. චාල්ස් මෙසියර් මෙම වස්තුව සම්බන්ධව තම පුද්ගලික සටහන් පොතේ ලියා තබුවත් අවසාන මෙසියර් ලයිස්තුවට ඇතුලත් කලේ නැත. 1784 දී විලියම් හර්ශල් (William Herschel) ද පසු කලෙක ඔහුගෙ පුත් ජොන් හර්ශල් (John Herschel) ද මෙය නිරීක්ශණය කර වාර්තා තබන ලදී. මෙම චක්‍රාවාටයේ පිටත දාරය වටා ඇති අඳුරු වලා පටලය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේද විලියම් හර්ශල් විසිනි. 1921 දී චාල්ස් මෙසියර් ගේ සටහන් පොත පරිශීලනය කරන කැමිල් ෆ්ලැමෙරියන් (Camille Flammarion) නම් ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයා මෙම වස්තුවද මෙසියර් ගේ ලයිතුවට ඇතුලත් කරගත්යුතු බවට යොජනා කරන ලදී.
මූලාශ්‍ර :
International Astronomical Union (IAU)
https://www.hubblesite.org/
http://www.messier.seds.org/
https://www.messier-objects.com/