අලුත උපදින තවත් ග්‍රහලෝකයක් සොයා ගැනේ
යුරෝපියානු දක්ෂිණ නිරීක්ෂණාගාරයේ (European Southern Observatory) නිරීක්ෂකයින් පිරිසක් විසින් පසුගියදා චිලී රාජ්‍යයේ ස්ථාපිත කර ඇති Very Large Telescope (VLT) භාවිතා කරමින් අලුත උපදින ග්‍රහලෝකයක ඡායාරූප ලබා ගැනීමට සමත් වී ඇත. එම ඡායාරූප ලබාගෙන ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 520ක් ඈතින්, රථාචාර්යයා තාරකා රාශියට (Auriga Constellation) අයත් තරුණ අවදියේ පවතින AB Aurigae තරුවට පාදක කරගෙන අලුත උපදින ග්රහලෝකයකයි.
මීට පෙර ඇටකාමා හී Atacama Large Millimeter Array (ALMA) දුරේක්ෂ භාවිතයෙන් AB Aurigae හි ලබාගත් ඡායාරූප හා සසඳන කල නවතම ඡායාරූප වල, දූවිලි සහ වායු මගින් අලුත සෑදුන ඝන සර්පිලාකාර බාහු දෙකක් නිර්මාණය වී ඇති ආකාරයත් ඒවා එක් ලක්ෂයක් වෙත යොමු වී ඇති ආකාරයත් පැහැදිලිව දිස් වේ. විද්‍යාඥයන් පවසන පරිදි මෙම සර්පිලාකාර බාහු යුගලය ග්‍රහලෝකයක පූර්ව වියේ ලක්ෂණයි.
VLT හී සවිකර ඇති SPHERE (Spectro Polarimetric High-contrast Exoplanet REsearch) නැමැති උපකරණයේ Adaptive Optics Systems සහා Coronagraphic Facilities පවතින නිසා ඡායාරූප ලබාගන්නා විට ආලෝකයේ විපරීත වීම් නිසා ඡායාරූප ගැනීමේදී ඇතිවන බාධා ඉතාමත් අවම වී යයි. ඒ නිසා ලබාගත් ඡායාරූප වල ඉතා පැහැදිලි සහ සවිස්තර ලෙස එම බාහු ඇඹරෙමින් ගමන් කරන ආකාරය සටහන් වී ඇත. මෙම ඇඹරුණු සර්පිලාකාර බාහු එකම ලක්ෂයකදී හමුවන අතර එම ලක්ෂයේදී ග්‍රහලෝකය නිර්මාණය වීම සිදුවනු ඇත.
ප්‍රංශයේ බෝඩෝ හි තාරකා භෞතික විද්‍යා විද්‍යාගාරයේ (Astrophysics Laboratory of Bordeaux) මේ පිළිබඳ පර්යේෂණ සිදුකරන ඇනි ඩුට්රෙයි (Anne Dutrey) පවසන්නේ ග්‍රහලෝක සෑදීමේ සමහර න්‍යායාත්මක ආකෘති වලදී එය වටා ඇති ද්‍රව්‍ය මෙලෙස සර්පිලාකාර ලෙස ඇඹරෙමින් එක් ලක්ෂයක් වෙත එකතු වීම සිදුවේ යැයි ඔවුන් අපේක්ෂා කල බවයි.
මෙම අලුත උපදින ග්‍රහලෝකය AB Aurigae තාරකාව වටා පිහිටා ඇති අතර එම තාරකාවේ සිට සූර්ය-පෘථිවි දුර මෙන් 30 ගුණයක පමණ දුරකින් පිහිටා ඇති බව ගණනය කර ඇත. එනම් අපගේ සූර්යයා හා නෙප්චූන් අතර පවතින දුරට සමාන දුරක් මෙම තරුව හා ළදරු ග්‍රහලෝකය අතර පවතී.
අද වන විට අලුත් ග්‍රහලෝක දසදහස් ගනනින් සොයාගෙන ඇති නමුත්, නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝක සොයාගෙන ඇත්තේ සීමිත ප්රමාණයකි. එනමුත් මෙම සීමිත සොයාගැනීම් වල වැදගත්කම වන්නේ මේවා අධ්‍යනය කිරීම මගින් ලැබෙන දත්ත මගින් ග්රහමණ්ඩල වල ආරම්භය සම්බන්ධයෙන් ඇති සංකල්ප වලට නව අර්ථකථනයක් දීමට හැකි වීමයි.