බක්මහ රෑ අහසේ අසිරිය
මේ දිනවල රාත්‍රී අහස පිළිබඳ බොහෝ දෙනාගේ කතා බහට යොමු වී ඇති බැවින් ඒ පිළිබඳව විස්තරයක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
මේ දිනවල දී සිකුරු ග්‍රහයා වෘෂභ (Taurus) රාශිය පසුබිම් කරගනිමින් රාත්‍රී 7 ට පමණ බටහිර අහසේ දීප්තිමත් සුදු පැහැයෙන් නිරීක්ෂණය කළ හැකියි. හිරු උදාවත් සමගම බුධ ග්‍රහයා උදා වන බැවින් මේ දින වලදී බුධ ග්‍රහයා නිරීක්ෂණය අපහසු වේ. බුධ හා සිකුරු ග්‍රහලෝක පෘථිවි කක්ෂයට ඇතුළතින් සූර්යයා වටා පරිභ්‍රමණය වන නිසා ඒවා දැක ගත හැක්කේ සවස් කාලයේ බැස යන විට හා අළුයම් කාලයේ දී නැග එන විට පමණි.
මේ දිනවල දී අලුයම 4.00 ට පමණ බ්‍රහස්පති, සෙනසුරු හා අඟහරු යන ග්‍රහලෝක ත්‍රිත්වය ම අංශක 30-50 ක පමණ උන්නතාංශයකින් (altitude) නැගෙනහිර අහසේ දැක ගත හැකිය. ධනු (Sagittarius) තාරකා රාශිය පසුබිම් කර ගනිමින් දීප්තිමත් කහ පැහැයකින් යුක්තව විශාලව බ්‍රහස්පති ග්‍රහයා ද, ඊට මදක් පහලින් මකර (Capricornus) රාශිය පසුබිම් කර ගනිමින් ළා කහ පැහැයෙන් කුඩාවට සෙනසුරු ග්‍රහයාද, එයට පහලින් තැඹිලි පැහැයෙන් අඟහරු ග්‍රහයාද නිරීක්ෂණය කළ හැක. තවද එම ග්‍රහලෝක ත්‍රිත්වය ම එකම රේඛාවක පිහිටීම එවා හදුනාගැනීමට පහසුවක් වනු ඇත.
මෙහිදී මෙම ග්‍රහලෝක හඳුනා ගැනීම ප්‍රධාන ව කළ හැක්කේ එහි පැහැය හා එය පවතින තාරකා රාශිය හදුනාගැනීමෙනි.
තාරකා හා ග්‍රහලෝක වෙන් කර හදුනාගැනීම එවයේ දිදුලීම (twinkling) නිරීක්ෂණයෙන් සිදු කල හැක. ග්‍රහලෝක, තාරකා වලට සාපේක්ෂව පෘථිවියට බෙහෙවින් ආසන්න බැවින් ඒවායේ දිදුලීම සැලකිය යුතු ලෙස අඩු වේ.
මේ දින වලදී දක්නට ලැබෙන තාරකා රාශි පිලිබදව අවධානය යොමු කිරීමේ දී රාත්‍රී අටට පමණ බැස යමින් පවතින ඔරායන් (Orion), මිථුන (Gemini) හා මහ බල්ලා (Canis Major) යන තරු රටා ද, හිස් මුදුනේ පවතින සිංහ (Leo) රාශිය ද, නැගෙනහිර අහසේ කන්‍යා (Virgo) රාශියද, උතුරු අහසේ මහ වලසා (Ursa Major) රාශියද දැක්විය හැකිය.
එසේම මධ්‍යම රාත්‍රියේ දී දකුණු අහසේ සෙන්ටෝරස් (Centaurus) තාරකා රාශිය සහ දකුණු කුරුසය (Southern Cross) තාරකා රාශිය ද, හිස් මුදුනට මඳක් උතුරු දෙසින් එඩේරා (Bootes) තාරකා රාශියද දැක ගත හැක.
අලුයම 4ට පමණ නැගෙනහිර අහසේ ලයිරා (Lyra), ඇක්විලා (Aquila), සිග්නස් (Cygnus) යන තාරකා රාශි මෙන්ම එම තාරකා රාශි වල වේගා (Vega), ඇල්ටෙයාර් (Altair), ඩෙනබ් (Deneb)යන තරු යා කරමින් දිස් වන ගිම්හාන ත්‍රිකෝණය (Summer Triangle) ද දැකගත හැකි වේ. එමෙන්ම මෙම වේලාවේදීම හිස් මුදුනට මදක් දකුණු දෙසින් වඩාත් පහසුවෙන් හදුනාගත හැකි ධනු හා වෘශ්චික (Scorpius) තාරකා රාශිද දැක ගත හැකිය.
ඔබ ආලෝක දූෂණය අඩු ප්‍රදේශක සිට නිරීක්ෂණය සිදු කරන්නේ නම් ධනු හා වෘශ්චික තාරකා රාශි පසුබිම් කරගනිමින් ක්ශීරපථයේ දීප්තිමත් ප්‍රදේශය වන එහි මධ්‍ය ප්‍රදේශය දැකගත හැකිය.
මේ දින වලදී රාත්‍රී 12න් පමණ පසු ලයිරා තාරකා රාශිය පසුබිම් කරගනිමින් ලයිරිඩ්ස් (Lyrids) උල්කාපාත වර්ෂාවද ඔබට දැකගත හැකිය. මෙම උල්කාපාත වර්ෂාව උපරිමව ක්‍රියාකාරී වන දිනය අප්‍රේල් 22 වේ.
ඔබ තාරකා විද්‍යාවට නවකයෙක් නම් මෙම තාරකා රාශි හදුනාගැනීම යම් දුශ්කර කටයුත්තක් විය හැකිය. මේ සදහා ඔබ තරු සිතියමක් හෝ ජංගම දුරකථන යෙදවුමක් භාවිත කිරීම පහසුවක් වනු ඇත.