අලුතෙන්ම සොයා ගත් පෘථිවියට ආසන්නතම කලු කුහරය
කළු කුහරයක් දෘෂ්‍ය ආලෝක පරාසයේ දිස් වෙන්නේ කළු පැහැයෙනි. එසේ වුවත් එවා විවිධ ක්‍රම වේද වලින් නිරීක්ෂණය කළ හැක. කුඩා ප්‍රමාණ වල සිට අති දැවැන්ත ප්‍රමාණ දක්වා විවිධ ප්‍රමාණ වලින් පවතින කලු කුහර වල ප්‍රධාන අංගයක් ලෙස සිද්ධි ක්ෂිතිජය (Event Horizon) හැඳින්විය හැක. මෙය කලු කුහරයේ මායිම වන අතර මෙයට ඇතුල්වන ආලෝකයට ඉන් ගැලවී යා නොහැක. තාරකාවක් වැනි වස්තුවක් අසල ඇති කළු කුහර වල, එම තාරකාව මගින් නිකුත් කරන ආලෝක ශක්තිය නිසා කලු කුහරය අවට ප්‍රදේශයේ ඇති දූවිලි සහා වායු අන්තර්ක්‍රියා කිරීමෙන් දීප්තිමත් බවක් ඇති විය හැකි අතර, එමගින් කලු කුහරයක් ඇති බවට හඳුනා ගැනීමට පහසුවක් වෙයි. එවැනි සහකාර තරු නොමැති කලු කුහර හඳුනා ගැනීම නම් ඉතා දුෂ්කර ය. එම නිසා ඒවා අසල ඇති අනෙකුත් වස්තූන් කෙරෙහි ඇති ගුරුත්වාකර්ෂණ බලපෑම් පිළිබඳව සොයා බැලීම මගින් එහි කලු කුහරයක් තිබේද නැද්ද යන්න වක්‍රව හඳුනාගත හැකිය.
මෙලස පර්යේෂ්ණ සිදු කරන තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගියදා විශේෂ සොයාගැනීමක් ලොවට හෙලි කලේය. මෙතෙක් කලක් අපෙන් සැඟව සිටි කලු කුහරයක් ඔවුන් විසින් සොයා ගැනීමත්, එය දැනට හමු ව ඇති කලු කුහර අතරින් වඩාත්ම ළඟින් පිහිටි කලු කුහරය වීමත්, එහි විශේෂත්වයයි. මේ සොයා ගැනීම සිදු කලේ චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ (Chilean Atacama Dessert) හී පිහිටා ඇති, ලා සිල්ලා (La Silla) ලෙසින් හඳුන්වන, යුරෝපියානු දක්ෂිණ නිරීක්ෂණාගාරයේ (European Southern Observatory – ESO) විද්‍යාඥයන් පිරිසක් විසිනි.
ඔවුන් විසින් ටෙලස්කොපියම් (Telescopium constellation) තාරකා මණ්ඩලයේ පියවි ඇසට යන්තමින් පෙනෙන තරු පද්ධතියක් වන HR 6819 පිළිබඳ පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එහි පෙනෙන්නට තිබෙන තාරකා දෙකෙන් එකක් දින 40 කට වරක් යම්කිසි නොපෙනෙන වස්තුවක් වටා කක්ෂගත වන බවයි. ඒ පිළිබඳ වැඩි දුර නිරීක්ෂණයකින් අනතුරුව මෙම නොපෙනෙන වස්තුව කළු කුහරයක් බවට අනාවරණය කර ගෙන ඇත. එහි ස්කන්ධය අපේ සූර්යයා මෙන් 4.2 ගුණයක් යැයි ගණන් බලා ඇත. HR 6819 හි තරු සමඟ සලකන විට මෙම කලු කුහරය දැකීය හැකි තරම් දීප්තිමත් බවක් එම තරු වලින් ලබා දෙනු ඇතැයි පර්යේෂකයෝ පවසති.
මෙම ද්විත්ව තරු පද්ධතියේ විශේෂත්වයක් ඇති බවට පළමු වරට අනාවැකි පල වී ඇත්තේ 2004 වසරේදීය. නමුත් එහි කක්ෂගත වීමේ විශේෂත්වය කුමක් දැයි පැහැදිලි කිරීමට මීට පෙර ඔවුන් සමත් වී නොතිබිනි. නමුත් පසුගිය වසරේ දී මිථුන (Gemini) තරු රටාවේ පිහිටා ඇති LB-1ද්විත්ව තරු පද්ධතියේ ද කලු කුහරයක් ඇති බවට අනාවරණය කිරීමත් සමඟ HR 6819 ගැනද නැවත අවදානය යොමුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සොයා ගැනීම සිදු කල බව පර්යේෂකයෝ පවසති.
මෙම සොයා ගැනීම සිදුකිරීමට පෙර ආසන්නතම කලු කුහරය ලෙස සැලකුවේ ආලෝක වර්ෂ 3,000ක් පමණ දුරින්, මොනොසෙරස් තරු රටාවේ (Monoceros constellation) පිහිටා තිබෙන A0620-00 ලෙස හඳුන්වන කලු කුහරයයි. නමුත් HR 6819 ට පෘථිවියේ සිට ඇති දුර වන්නේ ආලෝක වර්ෂ 1,000 කි.
මෙම කලු කුහරය ඇති වීම සම්බඳව පර්යේෂණ කණ්ඩායමේ මතය නම්, මෙම පද්ධතියේ තිබූ තාරකාවක් මීට වසර මිලියන ගණනකට පෙර සුපර්නෝවා පිපිරුමක් මගින් විනාශවීමේ ප්‍රතිඵලයකින් මෙය ඇති වී ඇති බවයි. නමුත් මේ වනතෙක් එය නොදුටුවේ අනෙකුත් බොහොමයක් ද්විත්ව තරු පද්ධති වල ඇති කලු කුහර එහි අවට පරිසරය හා අන්තර්ක්‍රියා කොට X කිරණ නිකුත් කරන නමුත් මෙම කලු කුහරය එවැන්නක් සිදු නොකිරීමයි.
තාරකා විද්‍යාඥයන් විසින්, X කිරණ නිකුත් කරන ද්විත්ව තරු යුගල් ඉතා අල්ප ප්‍රමාණයක් සොයාගෙන ඇති නමුත් බිලියන සියගණනකට වඩා වූ තරු අපගේ ගැලැක්සිය පුරා විහිදී ඇත. එලෙස බලන කල X කිරණ ද නිකුත් නොකර සම්පූර්ණයෙන්ම සැඟවී නිහඬව සිටින කලු කුහරයක් වන මෙවැනි කලු කුහරද පවතින බව ඔප්පු වීමත් සමඟ පැහැදිලි වන තවත් කරුණක් නම් මෙවැනි නිහඬ කලු කුහර විශාල ගණනක් අප වටා ඇති අහස් තලයේ මෙසේ සැඟව සිටිය හැකි බවයි