රෑ අහසේ වංශ කථාව කියන තාරකා රාශි
රාත්‍රී අහසේ පියවි ඇසින් අපිට බලා ගැනීමට ලැබෙන දේවල් අතර තාරකා කණ්ඩායම් මවන විවිධ රටා ප්රමුඛස්ථානයක් ලබා ගනී. දඩයක්කාරයා, මහ වලසා ගෝනුස්සා වැනි ප්‍රසිද්ධ තාරකා රටා රාත්‍රී අහසේ පහසුවෙන් හඳුනාගැනීමට හැකිය. අතීතයේදී විවිධ ශිෂ්ටාචාරවලට අයත් මිනිසුන් අහස දෙස බලා ඔවුන්ට පෙනෙන ආකාරයට තමන් ඇදහූ දෙවිවරු, පුරාවෘත්තයන් වල එන වීරවරයන් හා විවිධ සතුන් නිරූපණය වන පරිදි තාරකා යාකොට මෙම තරු රටා නිර්මාණය කරන ලදී. අතීතයේදී මිනිසුන් නාවික හා ගමනා ගමන කටයුතු සඳහා දිශාව සොයාගැනීමට, කෘෂිකාර්මික කටයුතු සිදුකරගැනීම සඳහා වසරේ විවිධ සෘතු වෙන්කර හඳුනාගැනීමට, දිනය හා වේලාව නිශ්චිතව සොයා ගැනීමට මෙන්ම අහසේ විවිධ තාරකා පහසුවෙන් සොයා ගැනීමට ද තාරකා රටා උපයෝගී කරගන්නා ලදී.
අතීතයේදී මෙම තරු රටා හැඳින්වූ කොන්ස්ටලේෂන් (constellation) යන වචනය ලතින් භාෂාවේ කොන්ස්ටලේටියෝ (constellātiō) යන වචනයෙන් බිඳි ආ වචනයකි. එහි තේරුම් තාරකා කණ්ඩායමක් යන්නයි. එම වචනය මුලින්ම පාවිච්චි කෙරුණේ ජෝතිෂ්‍යය විද්‍යාවේ එන තරු රටා හැඳින්වීමටය. ජෝතිෂ්‍යය විද්‍යාවේ එන රාශි චක්‍රය (Zodiac) යනු, ඛගෝලයේ (Celestial Sphere) සූර්යයා සහ ග්‍රහලෝක දෘශ්‍ය චලිතයක යෙදෙන මාර්ගය වන ක්‍රාන්තිවලය (ecliptic) මත පිහිටා ඇති අප කවුරුත් දන්නා තරු රටා 12 ය.
මෙලෙස තාරකා රාශියක් යනු අහසේ යම් ප්‍රදේශයක ප්‍රධාන තාරකා එක්කර සෑදුනු මනඃකල්පිත රූප රටාවක් ලෙස ඓතිහාසිකව අර්ථ දැක්වූවද නූතන අර්ථ දැක්වීමට අනුව මේවා තාරකා රාශි ලෙස හැඳින්වීම තාක්ෂණිකව නිවැරදි නොවේ. එසේනම් තාරකා රාශි ලෙස වර්තමානයේ අපි හඳුන්වන්නේ මොනවාද?
අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (International Astronomical Union – IAU) අර්ථ දක්වා ඇති පරිදි තාරකා රාශියක් (Constellation) ලෙස හඳුන්වන්නේ ඛගෝලය බෙදා වෙන් කළ යම්කිසි කොටසකටය. එම කොටසේ අන්තර්ගත පියවි ඇසට පෙනෙන සියලුම තාරකා මෙන්ම තරු අතර පිහිටි හිස් අවකාශය ද එම තාරකා රාශියට අයත් වේ.
එසේ නම් අප මනඃකල්පිත තාරකා යා කොට සාදා ගන්නා විවිධ රූප මොනවාද? නූතන නිරීක්ෂණ තාරකා විද්‍යාවේදී අපි එවැනි රූප හඳුන්වන්නේ තාරකා රටා (Asterisms) ලෙසයි. තාරකා රටාවක් (Asterisms) එක් තාරකා රාශියකට හෝ තාරකා රාශි කිහිපයකටම අයත් විය හැකිය.
එක් තාරකා රාශියකට අයත් තාරකා රටාවකට උදාහරණයක් ලෙස මහවලසා (Ursa Major) තාරකා රාශියේ (Constellation) ඇති දීප්තිමත් තරු 7 එකතුවී සාදනු ලබන නගුල (Plough) හෝ හැන්ද (Spoon) ලෙස හඳුන්වන තාරකා රටාව (Asterisms) හැඳින්විය හැක. තාරකා රාශීන් කිහිපයකට අයත් තාරකා රටාවකට උදාහරණයක් ලෙස හංසයා (Cygnus), රාජාලියා (Aquila) හා වීණාව (Lyra) යන තාරකා රාශීන්ගේ දීප්තිමත්ම තරු වන ඩෙනෙබ් (Deneb), ඇල්ටෙයාර් (Altair) හා වේගා (Vega) තාරකා ත්‍රිත්වය මගින් සාදනු ලබන ගිම්හාන ත්‍රිකෝණය හැඳින්විය හැක.
නූතන තාරකා රාශි වර්ගීකරණයට හා අර්ථ දැක්වීමට අනුව අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (International Astronomical Union – IAU) මගින් ඛගෝලය කොටස් 88 කට බෙදා වෙන්කරන ලද්දේ 1922 දී ය. ඒ ඇමෙරිකානු ජාතික තාරකා විද්‍යාඥ හෙන්රි නොරිස් රසල් (Henry Norris Russell) ගේ සහාය ඇතිවය. තවදුරටත් 1930 දී බෙල්ජියානු ජාතික තාරකා විද්‍යාඥ ඉයුජීන් ඩෙල්පොර්ටේ (Eugène Delporte) විසින් ඛගෝලයේ ඇති මනඃකල්පිත රේඛා වන ක්‍රාන්තිය (Declination) හා විෂුවදංශය (Right Ascension) පදනම් කරගෙන මෙම නූතන තාරකා රාශි වල මායිම් සලකුණු කරන ලදී. තාරකා මෙන්ම ගැඹුරු අහසේ වස්තූන් යම්කිසි තාරකා රාශියකට අයත් යන්නෙන් අදහස් කරන්නේ ද මෙම අර්ථ දක්වා ඇති මායිම් තුළ එම වස්තූන් පිහිටා ඇති බවයි. මෙම තාරකා රාශි 88 න්, උතුරු අර්ධ ගෝලයේ රාශීන් 36 ද දක්ෂිණ අර්ධගෝලයේ රාශීන් 52 ද පිහිටා ඇත. එම තාරකා රාශීන් වලින් 48 ක් ක්ලෝඩියස් ටොලමි (Claudius Ptolemy) විසින් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ දී හඳුන්වාදෙන ලද තරු රටා පදනම් කරගෙන සැකසුනු තාරකා රාශීන් වේ. දැනට නූතන තාරකා රාශි 88 න් බහුතරයක් එනම් 50 ක් පමණ තවමත් භාවිතා කරනුයේ ග්‍රීක, රෝම හා මැදපෙරදිග රටවල් වල ඓතිහාසිකව භාවිතා වූ නාමකරණයන්මය.
තාරකා රටා පිළිබඳව මානව ඉතිහාසයේ හමුවුනු පැරණිම සාක්ෂි දකුණු ප්‍රංශයේ ලැස්කෝ ගුහා (Lascaux Caves) වල ඇඳ ඇති ගුහා සිතුවම් වල අන්තර්ගත බව පුරාවිද්‍යාඥයන් මත පළකර සිටි. මෙම ගුහා සිතුවම් වල ඔරායන් ගේ බඳපටිය (Orion’s Belt), ගවයා (Taurus) තරු රටාව හා හද්දින්න තරු පොකුර (Pleiades Star Cluster) ඇඳ ඇති බවට විද්‍යාඥයන් විශ්වාස කරයි. වසර 17000 ක් පමණ පැරණි මෙම ගුහා සිතුවම් පිළිබඳව අර්ථ නිරූපණය ගැන තවමත් විද්‍යාඥයන් අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයකි.
මානව ශිෂ්ටාචාරයේ තරු රටා පිළිබඳව පළමු පිළිගත හැකි සාක්ෂි හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය (Mesopotamia) ආශ්‍රිතවය. කෙසේ වෙතත් බහුතර මෙසපොතේමියානු තරු රටා ක්‍රිස්තු පූර්ව 1300 – 1000 කාලයේදී නිර්මාණය වන්නට ඇතැයි අනුමාන කෙරේ. පසු කාලයක බොහෝ මෙසපොතේමියානු තරු රටා ග්‍රීක තරු සිතියම් වල අන්තර්ගත වීම ද විශේෂත්වයකි. ජෝතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වන පැරණි රාශි චක්‍රයද (Zodiac) ග්‍රීක ශිෂ්ටාචාරයට හඳුන්වාදෙනු ලබන්නේ මෙසපොතේමියානුවන් විසිනි.
ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ ග්‍රීසියට මෙලෙස හඳුන්වා දුන් මෙසපොතේමියානු තාරකා රටා ක්‍රිස්තු වර්ෂ දෙවෙනි ශතවර්ෂයේ දී සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයෙකු වන ක්ලෝඩියස් ටොලමි විසින් තවදුරටත් වැඩි දියුණු කර ඇල්මගෙස්ට් (Almagest) නම් සිය ග්‍රන්ථයේ සටහන් කර තබන ලදී. ටොලමි විසින් එම පැරණි මෙසපොතේමියානු නම් එලෙසම භාවිතා කරමින් තාරකා රටා 20 තමන්ගේ ග්‍රන්ථයේ සටහන් කර ඇති අතර තවත් තාරකා රටා 10 ක් වෙනත් නම්වලින් සටහන් කර ඇත. එම තාරකා රටා ඇතුළු තාරකා රටා 48 පිළිබඳ ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මධ්‍යකාලීන යුරෝපියානු සහ ඉස්ලාමීය තාරකා විද්‍යාවේ තරු රටා පිළිබඳව සම්මත අර්ථ දැක්වීම ටොලමි ගේ ඇල්මගෙස්ට් කෘතිය මත පදනම් විය.
මෙම තාරකා රටා බහුතරයක් උතුරු අර්ධ ගෝලයට අයත් තාරකා රටා වේ. එයට හේතුව වන්නේ ඉහත සඳහන් ශිෂ්ටාචාර බහුතරයක් උතුරු අර්ධගෝලයේ පිහිටා තිබීමය. මීට අමතරව රෝමය, චීනය, ඉන්දියාව හා පැරණි ඇමෙරිකානු ශිෂ්ටාචාරවල ද තාරකා රටා පිළිබඳව පුළුල් දැනුමක් තිබුණු බවට සාක්ෂි ඕනෑ තරම් පවතී.
කෙසේ නමුත් දක්ෂිණ අර්ධ ගෝලයේ අහස පිළිබඳව ඉහත ශිෂ්ටාචාරවල නිරීක්ෂකයන්ට යම්කිසි අවබෝධයක් තිබුණු බවට යම් යම් සාක්ෂි සටහන් වී ඇත. පැරණි වාර්තා වලට අනුව ක්‍රිස්තු පූර්ව 600 දී ඊජිප්තුවේ 2 වන නීකො පාරාවෝ රජතුමා (Pharaoh Necho ii) විසින් සංවිධානය කරන ලද අප්‍රිකා මහද්වීපය වටා යාත්‍රා කිරීමේ ව්‍යාපෘතිය සහ ක්‍රිස්තු පූර්ව 500 දී හැනෝ නම් දේශ ගවේෂකයා (Hanno the Navigator) ගේ ගවේෂණ වැනි ව්‍යාපෘති මගින් දකුණු අහස පිළිබඳව ඔවුන් මනාව අවබෝධයක් ලබා ගන්නට ඇතැයි අනුමාන කළ හැක. නමුත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලය (Great Library of Alexandria) විනාශ වීමෙන් අනතුරුව මෙම දැනුම අප හට සදහටම නැති වන්නට ඇත.
පසු කාලයක දක්ෂිණ අර්ධ ගෝලයට අයත් තාරකා රටා බොහෝමයක් සිතියම් ගත කරන ලද්දේ 15 වන ශතවර්ෂයෙන් පසුව මිනිසා නැවත දේශ ගවේෂණය ආරම්භ කිරීමෙන් පසුවය. දක්ෂිණ අර්ධ ගෝලයට අයත් තාරකා රටා ප්‍රථම වරට සිතියම් ගත කරන ලද්දේ ඕලන්ද ජාතික දේශ ගවේෂකයන් වන ෆ්රෙඩ්රික් ඩී හෞට්මන් (Frederick de Houtman) හා පීටර් ඩිරක්සූන් කෙයිසර් (Pieter Dirkszoon Keyser) විසිනි. 16 වන ශතවර්ෂයේ අවසාන භාගයේ සිතියම් ගත කරන ලද මෙම තාරකා රටා ප්‍රථම වරට අන්තර්ගත වූයේ ඕලන්ද ජාතික සිතියම් නිර්මාණකරුවෙකු වන පෙට්රස් ප්ලැන්කියස් (Petrus Plancius) විසින් නිර්මාණය කරන ලද ඛගෝලයේ ආකෘතියේය. ඒවා පසුව 1603 දී ජර්මන් ජාතික ජොහාන් බේයර් (Johann Bayer) ගේ උරානෝමෙට්රියා (Uranometria) නම් තාරකා සිතියම තුලද අන්තර්ගතවී ඇත. බේයර් විසින් තම සිතියම මගින් දක්ෂිණ තාරකා රටා 11 ක් පමණ අලුතෙන් හඳුන්වා දෙන ලදී. තවත් දක්ෂිණ තාරකා රටා 13 ක් ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ නිකොලා ලුයී ඩී ලැකයිලේ (Nicolas Louis de Lacaille) විසින් 1756 දී දකුණු අප්‍රිකාවේ පිහිටි සිය නිරීක්ෂණාගාරයේ දී සිතියම් ගත කරන ලදී. මීට අමතරව ඉතාලි ජාතික දේශ ගවේශකයන් වන ඇමරිගෝ වෙස්පුචී (Amerigo Vespucci), ඇන්ටෝනියෝ පිගෆෙට්ටා (Antonio Pigafetta) හා ඇන්ඩ්‍රියා කොසාලි (Andrea Corsali) විසින් ද සමහර දක්ෂිණ තාරකා රටා සිතියම් ගත කර ඇති බව සඳහන් වේ.
මීට පෙර ප්‍රසිද්ධියට පත්ව තිබූ එහෙත් නූතන තාරක රාශි 88 ට අන්තර්ගත නොවන තාරකා රටාද කිහිපයක් ඇත. ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයින් වන පියරේ ලැමොනියර් (Pierre Lemonnier) හා ජොසෆ් ලලන්ඩේ (Joseph Lalande) විසින් 1795 සිතියම් ගත කරන ලද ක්වොඩ්රන්ස් මුරාලිස් (Quadrans Muralis) නම් තාරකා රටාව එයට හොඳම උදාහරණයකි. අද එම තාරකා රටාවට අයත් තාරකා බූටිස් (Boötes) හෙවත් එඬේරා හා ඩ්රැකෝ (Draco) හෙවත් මකරා යන තාරකා රාශි දෙක අතර බෙදී ගොස් ඇත. කෙසේ නමුත් ප්‍රසිද්ධ උල්කාපාත වර්ෂාවක් වන ක්වොඩ්රන්ටිඩ් උල්කාපාත වර්ෂාවට (Quadrantid meteor shower) එම නම ලැබී ඇත්තේ අද රාත්‍රී අහසේ දක්නට නොමැති මෙම තාරකා රටාව හේතුවෙනි.
එමෙන්ම නූතන තාරකා රාශි සිතියමෙන් ඉවත් වූ තාරකා රටාවක් ලෙස ආර්ගෝ නේවිස් (Argo Navis) තාරකා රටාව හැඳින්විය හැක. මෙම තාරකා රටාව ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ මිසර ජාතිකයන් ඔසිරිස් ගේ නෞකාව (Boat of Osiris) ලෙසද ග්‍රීක ජාතිකයන් තමන්ගේ පුරාවෘත්ත වල එන ජේසන් හා ඔහුගේ නාවිකයන් (Jason and the Argonauts) රන් බැටලු හම සොයා ගිය ආර්ගෝ (Argo) නම් නෞකාව ලෙසද සටහන් වී තිබින. කෙසේ වෙතත් අද වනවිට මෙම තාරකා රටාවට අයත් තාරකා, කැරීනා (Carina) හෙවත් නැවේ බඳ, පුප්පිස් (Puppis) හෙවත් නැවේ පිටුපස කොටස හා වේලා (Vela) හෙවත් රුවල යන තාරකා රාශි තුන අතරේ බෙදී ගොස් ඇත.
නූතන තාරකා රාශි 88 ගැන වැඩිදුර තොරතුරු හා ඒවායේ සිතියම් වෙන වෙනම් ලබාගැනීමට මෙම වෙබ් අඩ්විය වෙත පිවිසෙන්න 👇
https://www.iau.org/public/themes/constellations/
මූලාශ්‍ර :
https://www.constellation-guide.com/
https://www.wikipedia.org/