සෞරග්‍රහ මණ්ඩලය දෙකට බෙදන ග්රහක වළල්ල
ග්රහක (Asteroids)
සෞරග්‍රහ මණ්ඩලය (solar system) තුළ පවතින ඉතා කුඩා, පාෂාණමය හෝ ලෝහමය වස්තූන් ග්රහක ලෙස හඳුන්වයි. වාමන ග්‍රහලෝකවලට (dwarf planets) (eg: pluto) සාපේක්ෂව ග්රහක ප්‍රමාණයෙන් කුඩා වේ. ඒවා වල්ගාතරු, උල්කාපාත මෙන් ආලෝකය විහිදුවන්නේ නැති නිසාත්, ග්‍රහලෝකවලට වඩා කුඩා නිසාත් සොයාගැනීම (නිරීක්ෂණය කිරීම) ඉතා අපහසුය.
ග්රහක නිරීක්ෂණය
අතීතයේදී ග්රහක වැනි කුඩා වස්තූන් පවා වාමන ග්‍රහලෝක ගණයට වැටිණි. විලියම් හර්ෂල් (William Herschel) නමැති තාරකා විද්‍යාඥයා විසින් ඉතා කුඩා මෙවැනි වස්තූන්ට “ග්රහක”(Asteroid) යන නාමය ඉදිරිපත් කළේය. 1801 වසරේදී ජුසෙප්පෙ පියාසි (Giuseppe Piazzi) නම් ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයා විසින් සොයාගන්නා ලද “සෙරස්”(Ceres) ග්රහකය ප්‍රථමයෙන්ම සොයාගත් ග්රහකයයි.
2016 වන විට ග්රහක 750,000කට වැඩියෙන් හඳුනාගෙන ලැයිස්තුගත කර තිබෙන අතර ඉන් 15,000 ක් පමණ නාමකරණය කර ඇත. සැලකිය යුතු ග්රහක සංඛ්‍යාවකට නිශ්චිත කක්ෂයක් (orbit) පවා පවතී (අහඹු චලිත නොදක්වයි). විෂ්කම්භය 1km ට වඩා වැඩි ග්රහක මිලියන භාගයකට වඩා පැවතිය හැකි බව නිර්ණය කර තිබේ. සාමාන්‍යයෙන් එක් මාසයක් තුළදී නව ග්රහක දහස් ගණනින් සොයාගනී.
ග්රහක එතරම් දීප්තිමත් නැති නිසා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිය. ඒවා නිරීක්ෂණය කිරීමට අවැසි නම් ඔබට විශාල දුරේක්ෂයක් අවශ්‍ය වන අතර එමඟින්ද නිරීක්ෂණය වන්නේ තරුවලට වඩා දීප්තිය ඉතා අඩු කුඩා තිතක් ඉතා සෙමින් ගමන් කරන ලෙසටයි.මේ අනුව තම පෞද්ගලික දුරේක්ෂයෙන් ග්රහක නිරීක්ෂණය ඉතා අසීරු වන අතර, ඒ සඳහා නිරීක්ෂණාගාරවල තිබෙන ආකාරයේ විශාල දුරේක්ෂයක් අවශ්‍ය ය.
වර්ගීකරණය:
ග්රහක ඒවායේ සංයුතිය අනුව කොටස් 3කට බෙදයි.
1. C – type (කාබනික ග්රහක)
සමස්ත ග්රහක ප්‍රතිශතයෙන් 75%ක් පමණ අයත්වන්නේ මේ වර්ගයටයි. මේවායේ කාබන් සැලකියයුතු ප්‍රමාණයක් අඩංගු වේ.
2. S – type (සිලිකේට ග්රහක)
මේවායේ සිලිකේට බහුලවන අතර ඇතැම් ලෝහ වර්ග ද සුළු ප්‍රමාණයක් අඩංගු විය හැකිය.
3. M – type (ලෝහමය ග්රහක)
මෙම ග්රහක වල යකඩ, නිකල් ආදී ලෝහ වැඩිපුරම අන්තර්ගතය. මෙවන් ග්රහක ඉතා දුර්ලභ වේ.
ග්රහක වළල්ල (Asteroid Belt)
ග්රහක වළල්ල යනු සූර්යයා කේන්ද්‍ර කොටගෙන පරිභ්‍රමණය වන (heliocentric), අඟහරු හා බ්‍රහස්පති යන ග්‍රහයන්ගේ කක්ෂ (orbits) අතර එක්රැස්වී පවතින ග්රහක සමූහයකි (සෞරග්‍රහ මණ්ඩලයේ සෑමතැනම ග්‍රහලෝක විසිරී ඇති නමුදු, අඟහරු හා බ්‍රහස්පති අතර ග්රහක විශාල ප්‍රමාණයක් එක්රැස්ව පවතී). සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහලෝක, අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක ලෙස දෙකට වෙන් කරන්නේ මේ ග්රහක් වළල්ල පදනම් කරගෙනයි. ග්රහක වළල්ල සූර්යයාගේ සිට 2.1-3.3 A.U. (Astronomical Units- නක්ෂත්ර ඒකක) අතර දුර පරාසයේ විහිදී පවතී. ග්රහක වළල්ලේ මධ්‍යයට සූර්යයා සිට ඇති දුර 2.8 A.U. පමණ වේ.
ග්රහක වළල්ලේ වැඩිපුරම පවතින්නේ C – type (කාබනික ග්රහක) වන අතර ග්රහක වළල්ලෙහි බාහිර කලාපයේ මේ වර්ගයේ ග්රහක සුලබ ය. ග්රහක වළල්ලේ අභ්‍යන්තර කලාපයේ සුලබව පවතින්නේ S – type ග්රහක යි. එහි M – type ග්රහක ඉතා දුර්ලභ වේ.
ග්රහක වළල්ලේ සෑමතැනම ග්රහක එක හා සමානව විහිදී නොපවතී. උදාහරණයක් ලෙස ග්රහක වළල්ලේ යම් යම් ප්‍රදේශවල පවතින ග්රහක සංඛ්‍යාව ශුන්‍ය ට ළඟාවේ (එම ප්‍රදේශවල ග්රහක නොපවතී.) බ්‍රහස්පති ග්‍රහයාගේ බලපෑම නිසා ඇතිවන මෙවන් හිඩැස් කර්ක්වුඩ් ගැප්ස් (Kirkwood gaps) ලෙස හැඳින්වේ.
ග්රහක වළල්ලේ තිබෙන විශාලතම ග්රහක:
1.සෙරස් (Ceres)
මෙම ග්‍රහකයේ ස්කන්ධය ග්රහක වළල්ලේ ස්කන්ධයෙන් 30%ක් පමණ වන්නේ විශාලතම ග්රහකය වෙමිනි. ගෝලාකාර හැඩයක් ගනී. මුලින්ම සොයාගත් ග්‍රහකයද වේ. මෙම ග්රහකය අනෙකුත් ග්රහකවලට සාපේක්ෂව ඉතා විශාල නිසා පසුව වාමන ග්‍රහයකු (Dwarf Planet) ලෙස ප්‍රකාශයට පත්විය. මෙහි මධ්‍යන්‍ය විෂ්කම්භය 952km පමණ වේ. සෙරස් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක්කේ අතිශයින් අඳුරු අහසක් තිබුණහොත් පමණි.
2.වෙස්ටා (Vesta)
ග්රහක වළල්ලේ පිහිටි ප්‍රමාණයෙන් දෙවැනියට විශාලතම වස්තුවයි. මධ්‍යන්‍ය විෂ්කම්භය 530km පමණ වේ. හෙන්රිච් විල්හෙල්ම් (Heinrich Wilhelm) නම් තාරකා විද්‍යාඥයා විසින් 1807 දී මෙම ග්රහකය සොයාගන්නා ලදී. රාත්‍රී අහසේදී නිරීක්ෂණය කළ හැකි දීප්තිමත්ම ග්රහකය යි. (සෙරස් ග්රහකයටත් වඩා දීප්තිමත් ය). සෙරස් වාමන ග්රහයෙකු ලෙස වර්ගීකරණය කිරීමෙන් පසු වෙස්ටා, ග්රහක වලල්ලේ විශාලතම ග්රහකය ලෙස දැන් හැඳින්විය හැක.
3.පැලස් (Pallas)
මෙම ග්‍රහකයේ ස්කන්ධය ග්රහක වළල්ලේ ස්කන්ධයෙන් 7%කි. මෙයද හෙන්රිච් විල්හෙල්ම් (Heinrich Wilhelm) නම් තාරකා විද්‍යාඥයා විසින් 1802 වසරේදී සොයාගෙන තිබේ. විෂ්කම්භය 510km පමණය. සෙරස් හා වෙස්ටා ග්රහකවලට වඩා දීප්තියෙන් අඩුය.
4.හයිජියා (Hygiea)
මෙම ග්‍රහකයේ ස්කන්ධය ග්රහක වළල්ලේ ස්කන්ධයෙන් 2.9%ක් පමණකි. 1849 දී A. de Gasparis නම් තාරකා විද්‍යාඥයා විසින් සොයාගන්නා ලදී. විෂ්කම්භය 407km කි.
ග්රහක ගවේෂණයට දියත් කළ මෙහෙයුම්
* NASA ආයතනය විසින් දියත් කරනු ලැබූ ගැලීලියෝ මෙහෙයුම (Galileo):
ග්රහකයක් අසලින් පියාසර කිරීමට (flyby) සමත්වූ ප්‍රථම අභ්‍යවකාශ යානයයි. 1991 වසරේදී Gaspara ග්රහකය අසලින්ද, 1993 වසරේදී Ida නම් ග්රහකය අසලින්ද පියාසර කරන ලදී.
*NASA ආයතනයේ NEAR-Shoemaker (Near Earth Asteroid Rendezvous) මෙහෙයුම මඟින් Mathilde සහ Eros නම් ග්රහක පිළිබඳව අධ්‍යයනය කරන ලදී. Rosetta මෙහෙයුම මඟින් 2008 දී Steins ග්‍රහකයද, 2010 දී Lutetia ග්‍රහකයද සමීපව අධ්‍යයනය කළේය (encountered). තවද Deep Space 1 සහ Stardust මෙහෙයුම් ද්විත්වයම ග්රහක සමීපව නිරීක්ෂණය කර තිබේ.
*JAXA (ජපානයේ අභ්‍යවකාශ ආයතනයකි) විසින් දියත් කළ Hayabusa මෙහෙයුම :
2005 වසරෙදී පෘථිවිය අසල තිබෙන ග්රහකයක් වන Itokawa මත මේ Hayabusa අභ්‍යවකාශ යානය ගොඩබසින ලදී. එය විසින් එම ග්‍රහකයේ සාම්පල ලබාගත් අතර, 2010 ජුනි 3 වන දින සාර්ථකව පෘථිවියට පැමිණෙන ලදී. එසේ ගෙනා පස් සාම්පල පිළිබඳව විද්‍යාඥයන් පර්යේෂණ පවත්වනු ලබයි.
*NASA ආයතනයේ Dawn අභ්‍යවකාශ යානය :
2007 වසරේදී අභ්‍යවකාශගත කළ අතර වෙස්ට (Vesta) ග්රහකය වටා කක්ෂගතවී වසරකටත් අධික කාලයක් පුරාවට ගවේෂණය කරන ලදී. 2012 සැප්තැම්බර් මස එතැනින් ගිය පසු සෙරස් වෙත පියාසර කළේය.
වෙස්ටා හා සෙරස් ඉතා ඈත අතීතයේ ග්‍රහලෝක දෙකක් ලෙස තිබී ඇතැයි සැලකේ . එම ග්රහක දෙක පිළිබඳව පර්යේෂණ සිදුකිරීමෙන් විද්‍යාඥයන්ට සෞරග්‍රහ මණ්ඩලයේ උපත,අතීතය පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැකිවේ.
Celementine:
1994 දී නාසා ආයතනයෙන් අභ්‍යවකාශගත කරන ලදී. එය පෘථිවියට ආසන්න ග්රහකවල (near-Earth asteroid) භූගෝල විද්‍යාත්මක ලක්ෂණ නිරීක්ෂණය කළේ ග්රහකවල මතුපිට ලක්ෂණ හා භෞතික විද්‍යාත්මක ගුණ අනාවරණය කරගැනීමටයි.
Cassini-Huygens (කැසිනි හයිජන්ස්):
සෙනසුරු හා එහි චන්ද්‍රයන් නිරීක්ෂණය කිරීමට දියත් කළ මෙම මෙහෙයුම අතරතුර, එම යානය Mersursky ග්රහකය අසලින් ගියේ ඡායාරූප ගනිමින් මෙන්ම ග්‍රහකයේ ප්‍රමාණයද නිර්ණය කරමිනි (estimate).
DIXI (Deep Impact Extended Investigation):
Tempel නම් ධූමකේතුවේ සංයුතිය පිළිබඳව හැදෑරීමට ගුවන්ගත කළ මෙම ගවේෂක යානය (probe) “2002 GT” නම් ග්රහකය වෙත ගියේය. අනපේක්ෂිතව වූ මෙම සිදුවීම නිසා මෙම ගවේෂක යානය පෘථිවියත් සමඟ සිදුකළ සන්නිවේදන කටයුතු බිඳවැටීමෙන් මෙහෙයුම අතරමඟ නතර කිරීමට සිදුවිය.
Osiris-Rex:
2016 වසරේදී අභ්‍යවකාශගත කළ මෙම මෙහෙයුමෙන් “බෙනූ (Bennu)” නම් ග්‍රහකයේ කක්ෂීය ලාක්ෂණික (orbital characteristics) හා මතුපිට පෘෂ්ඨයේ ලක්ෂණ අධ්‍යයනය කිරීම ඇරඹුවේ 2018 වසරේදීය. Osiris Rex යානය එම ග්‍රහකයේ සාම්පල ලබාගෙන නුදුරේදීම පෘථිවියට පැමිණේවි.
ARM (Asteroid Redirect Mission):
නාසා ආයතනය විසින් මේ 2020 දශකයේදී මෙම මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කරනු ලබයි. එය අභ්‍යවකාශගත කළහොත් එය රොබෝ තාක්ෂණය භාවිත කරමින් දියත්කළ ප්‍රථම මෙහෙයුම වේවි. කුඩා ග්රහක කැබලි රැගෙන ඒමත්, ග්රහකවල ලක්ෂණ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමත් මෙම මෙහෙයුමේ මූලික අරමුණු ලෙස සඳහන්ය.
ග්රහක වළල්ල හා පෘථිවියේ අනාගතය:
ඇතැම් අභ්‍යවකාශ විශේෂඥයන් විසින් අනාවැකි පළකරන්නේ, යම් දවසක විශාල ග්රහකයක් පෘථිවිය සමඟ ගැටී මහා ව්‍යසනයක් සිදුවිය හැකි බවටයි.පරීක්ෂණ වාර්තාවකට අනුව, ග්රහක අතර ඇතිවන අන්‍යොන්‍ය ගුරුත්වාකර්ෂණ බල හේතුකොට ගෙන ග්රහක තම කක්ෂයෙන් ඉවතට යාම නිසා ග්රහක පෘථිවියේ ගැටීමට යම් සම්භාවිතාවක් පවතී. ප්‍රමාණවත් තරම් විශාල ග්රහකයක් පෘථිවියේ ගැටුණහොත් ඇතැම්විට ලෝක විනාශය පවා සිදුවිය හැක.
වාසනාවකට,විද්‍යාඥයන් හට මෙවන් සිද්ධීන් පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාවක් තිබේ. එවන් ව්‍යසනයන්ගෙන් සුරක්ෂිත වීම සඳහා නොයෙක් විකල්ප තාක්ෂණයේ දියුණුවත් සමඟ අනාගතයේ නිර්මාණය වනු ඇති!
මූලාශ්‍ර
https://sci.esa.int/ https://solarsystem.nasa.gov/