සෞරග්‍රහ මණ්ඩලයෙත් කලුකුහරයක්?
හිරු මැදි කරගත් සෞරග්‍රහ මණ්ඩලය අප හොඳින් දන්නා පරිදි ග්‍රහලෝක 8කින් සමන්විත වන අතර ග්‍රහලෝක වලට පිටතින් ඇත්තේ කුයිපර් ග්රාහක වළලයි. මෙම ග්රාහක වළල්ලෙන් අන්තර් සෞරග්‍රහ මණ්ඩලය සහා බාහිර සෞරග්‍රහ මණ්ඩලය ලෙස කොටස් දෙකට බෙදෙයි.
කුයිපර් ග්‍රහ වළල්ල සූර්යයා ගේ සිට නක්ෂත්ර ඒකක 50ක් ( 50 Astronomical Units) පමණ දුරින් පවතින නිසා බාහිර සෞරග්‍රහ මණ්ඩලයට අයත් වන කොටසේ ඇති ග්‍රහ වස්තූන් පිළිබඳ අධ්‍යනය කිරීම තරමක් අපහසුය. එනමුත් ඒවා වල සිදුවන සංසිද්ධි අධෝරක්ත කිරණ හා X කිරණ වර්ණාවලි මගින් යම්තරමක දුරට අධ්‍යනය කර ඇත.
කුයිපර් ග්‍රහ වළල්ලේ හඳුනානොගත් වස්තුවක් මගින් එය වටා ඇති කුඩා වස්තූන් 6 කට බලපෑම් ඇති කරන බවට සාධක සොයා ගෙන ඇති අතර, එය නවවන ග්‍රහලෝකය විය යුතු යැයි නම් කර ඇත. එම වස්තුව පෘථිවිය මෙන් 10 ගුණයක් පමණ විශාල වන බවත් එයට සූර්යයාගේ සිට පවතින දුර කිලෝමීටර බිලියන 90ක් පමණ (සූර්යයා සහ නෙප්චූන් අතර දුර මෙන් 20 ගුණයක් පමණ) වේ යැයි ගණන් බලා ඇත. එනම් එය වෙත යාමට අවම වශයෙන් අවුරුදු 50ක් වත් ගත වේ. විද්‍යාඥයන් මෙම වස්තුව ෆැටී (Fatty) යන අන්වර්ථ නාමයෙන් සලකයි.
මෙය දුරේක්ෂකින් දැකීමට ඉතා අපහසු දුරකින් පිහිටා ඇති නිසා අධෝරක්ත කිරණ මගින් මෙහි පැවැත්ම ගැන සොයා බැලීම් සිදු කරයි. මෙම ග්‍රහ වස්තුවට සූර්යයා වටා එක වටයක් ගමන් කිරීමට පෘථිවි අවුරුදු 10,000ත් 20,000ත් අතර කාලයක් ගතවේ යැයි විද්‍යාඥයෝ පවසති. අවසන් වරට එය අද තිබෙන ස්ථානයේම පවතින විටදී පෘථිවියේ, මැමත් සත්වයන් ජීවත්ව සිටි යුගය පැවතෙන්නට ඇතැයි සැලකේ.
Fatty යනු කුමන වර්ගයේ ග්‍රහ වස්තුවක්දැයි තවමත් ස්ථිරවම නොදනී. ඒ පිළිබඳ ඇති මතවාද අනුව එය ඇතැම් විට අයිස් වලින් සෑදුනු ග්‍රහලෝකයක් විය හැකියැයි ඇතැම් අය පවසති. ප්‍රමාණය අතින් බ්‍රහස්පති ට වඩා කුඩා නිසා වායුමය ග්‍රහලෝකයක් විය නොහැකි බවත්, ඉතා දුරින් පිහිටන නිසා අයිස් වලින් පිරුණු ග්‍රහලෝකයක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. නමුත් 2019 වසරේදී මෙම වස්තුව බොහෝවිට කලු කුහරයක් වීමටද ඉඩකඩ ඇති බවට පළමුවරට ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදි.
ඇත්තටම මෙම Fatty යනු කලුකුහරයක් ද…?
ඒ ගැන කතා කිරීමට පෙර කලු කුහර වර්ග පිළිබඳ මදක් විමසා බලමු.
කලු කුහර ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
1. Super Massive Black Holes
2. Intermediate-Mass Black Holes
3. Stellar-Mass Black Holes
සූර්ය ස්කන්ධය මෙන් 10^5 – 10^9 විශාල කලු කුහර Super Massive Black Holes ගණයට වැටේ. මෙම කලු කුහර වටා සුවිශාල ගුරුත්වාකර්ෂණ බලයක් ඇත. අපට ආසන්නතම Super Massive කලු කුහරය, Sagittarius A* අප සිටිනා චක්‍රාවාටය වන Milkyway මධ්‍යයේ පිහිටා ඇතැයි සැලකේ. 10^2 සිට 10^5 ක් දක්වා සූර්ය ස්කන්ධ ඇති කලු කුහරයන් Intermediate-mass Black Holes වේ. අධික ගුරුත්වාකර්ෂණ බලයක් ඇති මෙම කලු කුහර වන මේවාද දීප්තිමත් වූ තරු වලින් වටවී ඇත. ගෝලාකාර තරුපොකුරක් වන Mayall II (M31 G1) තරු පොකුරත් NGC 4395 සර්පිලාකාර චක්‍රාවාටයත් මේ සඳහා උදාහරණ වේ. Stellar-Mass Black Holes වල ස්කන්ධය සූර්ය ස්කන්ධය මෙන් 5 ගුණයක සිට 100 ගුණයකට ආසන්න කලාපයේ පවති. තරුවක ගුරුත්වාකර්ෂණයේ බිඳවැටීමක් නිසා හයිපනෝවා පිපුරුමක් සිදුවී මේවා ඇති වේ යැයි සැලකේ. Milkyway චක්‍රාවාටය පුරා එවැනි වූ කලු කුහර විශාල ප්‍රමාණයක් ඇත.
විද්‍යාඥයන් පවසන පරිදි ඉහත කී ප්‍රධාන කොටස් තුනට අමතරව Primordial Black Holes නම් තවත් කලු කුහර වර්ගයක් තිබිය හැකි ය. මහා පිපිරුම සිදුවී මිලිතත්පර ගණනක් තුල මේවා ඇතිවෙන්නට ඇති බවත් විශ්වයේ උපත ගැන හොඳින්ම දන්නේ මෙම කලු කුහර බවත් විද්‍යාඥයන්ගේ මතයයි. එනම් Primordial Black Holes ඇතිවන විට තරු හෝ ග්‍රහලෝක හෝ අඩුතරමේ චක්‍රාවාට පවා බිහිවී නොතිබෙන්නට ඇත.
එසේ Primordial කලු කුහරයන් නිර්මාණය වන්නට ඇත්තේ කෙසේද?
විශ්වයේ ආරම්භය ලෙස සැලකෙන මහා පිපුරුම්වාදය සිදුවූ අවදියේදී, විශ්වය ප්‍රසාරණය වන විට එහි එක් එක් තැන් වල උෂ්ණත්වය ඝනත්වය වැනි සාධක නියත නොවී පැවතෙන්නට ඇති නිසා එලෙස ඝනත්වය වැඩි ස්ථාන වල අධික ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වේ. එනමුත් තවමත් සීමිත පරිමාවක් තුල මෙම ඝනත්වය ගොනු වී ඇති නිසා එය කලු කුහරයක් බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇත. එසේ බලන කල මෙම කලු කුහර බිහිවන්නට ඇත්තේ තරු වැනි අනෙකුත් වස්තූන් නිර්මාණය වීමටත් ප්‍රථමවයි. කෙසේ නමුත් මෙම කලු කුහරයන් එතරම් ප්‍රභල ගුරුත්වාකර්ෂණ බල ඇති ඒවා නොවිය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙය කල්පිතයක් පමණක් වන අතර තවමත් එවැනි කලුකුහරයක් පවතින බවට සොයාගෙන නොමැත.
Fatty ලෙස හඳුන්වන ග්රහවස්තුවත් ඉහතින් සදහන් කරන ලද Primordial Black Holes ගණයට වැටෙන කලුකුහරයක් වීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙය කලු කුහරයක් නම් ඉන් අපට බලපෑමක් වේවිද? එම කලුකුහරය වෙත අපවත් ඇදී යාවිද?
ඇත්තෙන්ම ඉන් බලපෑමක් වෙන්නට ඉඩකඩක් නැහැ. එය කලු කුහරයක් වේ නම්, එතරම් විශල බලපෑමක් ඇති කරන තරමේ කලු කුහරයක් නම් නොවේ.
Fatty යනු කලු කුහරයක් විය හැකි බවට මතයක් නිර්මාණය වූයේ ඇයි…?
විද්‍යාඥයන් විසින් ඉතා විශාල විශාලන කාච මගින් සිදු කල නිරීක්ෂණ වලදී, එක්තරා තරුවක් ඉදිරියෙන් ගමන් කරන අඳුරු වස්තුවක් දක්නට ලැබුනි. මෙම වස්තුව නිසා එම තරුවේ ආලෝකය වැඩි වීමක් සිදුවූ අතරම ආලෝකය වක්‍ර වී ගමන් කරන බවත් දක්නට ලැබුනි. සාමන්‍යයෙන් එවැනි ලක්ෂණ පෙන්වන්නේ කලු කුහරයක් තරුව ඉදිරියෙන් ගමන් කරන විටකදීය. මේ සඳහා විද්‍යාඥයන් විසින් පරිගණක මොඩියුලයක් නිර්මාණය කර පරීක්ෂා කරන ලදි. එහිදි දක්නට ලැබුනෙ, එම හඳුනානොගත් ග්‍රහ වස්තුව කුයිපර් ග්‍රහ වළල්ලේ පිහිටන බවත් විශාලත්වය පෘථිවිය මෙන් දස ගුණයක් පමණ වන බවත් ය. මෙය අප පෙර කතා කරන ලද Fatty ම විය හැකි බවට සැකයක් ඇතිවීම සාධාරණ බව ඔබට දැන් වැටහෙනු ඇත.
කෙසේ වෙතත් මෙම ග්‍රහවස්තුව කුමක්ද යන්න තවමත් හරිහැටි තහවුරු කර නොමැති අතර මෙය තවත් එක් ග්‍රහලෝකයක් ද නැතහොත් තාරකා විද්‍යාවේ නව මාවතක් විවෘත කරන අලුත්ම කලු කුහරයක් වන්නේද යන්න ඉතා ඉක්මනින්ම දැනගැනීමට හැකිවනු ඇති බව විද්‍යාඥයෝ පවසා සිටිති.
මූලාශ්‍ර :
https://www.forbes.com/