අනාගතයේ අපගේ සූර්යයාට කුමක් සිදු වේවිද?
අපි සියලු දෙනාම දන්නා පරිදි සූර්යයා යනු තරුවකි. එම නිසා සූර්යයාගේ පරිනාමයද තරුවක පරිනාමයට සමානය.තරුවල ස්කන්ධය අනුව එවායේ පරිනාමන අවදි වෙනස් වේ. මෙහිදී අපි සූර්යයා හා එයට ආසන්න ස්කන්ධ වල පවතින තරුවක පරිනාමය පිළිබඳ අපි කතා කරමු. තරුවක පරිනාමය ගැන කතා කරන විට හර්ට්ස්ප්රන් – රසල් සටහන (Hertzsprung-Russell Diagram) හෙවත් HR සටහන අධ්‍යයනය කර අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ .
සූර්යයාගේ උපත සිදුවන්නේ නිහාරිකාවක් තුලදීය. නිහාරිකාවක් යනු සරලවම ගතහොත් දූවිලි වලාවකි.නිහාරිකාව තුල සූර්යයා හටගැනිමට වසර මිලියන 20ක් පමන කාළයක් ගත වී ඇතයි සැලකේ. මෙසේ නිහාරිකාව තුළ හටගත් සූර්යයා මීළඟට පත්වන්නේ තරුණ අවදියටයි. මෙම අවදියේදි සූර්යයා HR සටහනට අනුව ප්‍රධාන අනුක්‍රමන (main sequence) තරුවක් බවට පත් වේ. දැන් සූර්යයාට වයස අවුරුදු බිලියන 4.5ක් පමණ වේ. ප්‍රධාන අනුක්රමනයේ තරුවක් වසර බිලියන 10 ක් පමණ ගත කරයි. ඒ අනුව සූර්යයාට තවත් වසර බිලියන 5.5 ක් පමණ ප්‍රධාන අනුක්‍රමන තරුවක් ආකාරයෙන් පැවතීමට හැකියවක් පවතී. නමුත් සූර්යයාට වඩා ඉතා ඉහළ ස්කන්ධයකින් යුක්ත තරු ප්‍රධාන අනුක්‍රමනය තුළ මීට වඩා අඩු කාලයක් පවතී. මෙම කාලය තුළ සූර්යයා විසින් තමාගේ හරය (core) තුළ ඇති හයිඩ්රිජන් වායුව හීලියම් වායුව බවට පත් කරමින් ශක්තිය නිපදවයි. මෙය න්‍යෂ්ටික විලයන ප්රතික්රියවකි. මේ අනුව සූර්යයා තුළ 73% ක් පමණ හයිඩ්රිජන් වායුවද, 25% ක් පමණ හීලියම් වායුවද පවතී. මෙසේ සූර්යයා තුළ හීලියම් බවට පත් කිරීමට තරම් හයිඩ්රිජන් වායුව පවතින තෙක් සූර්යයා ප්‍රධාන අනුක්‍රමන තාරකාවක් ආකරයෙන් පවතිනු ඇත. ප්‍රධාන අනුක්‍රමන තරුවක් ද්‍රවස්ථිතික සමතුලිතතාවේ පැව්තීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නෙ හරය දෙසට ඇති ගුරුත්වාකර්ෂණ බලයත්, එයට විරුද්ධව ක්‍රියා කරන වායු පීඩනයත් විකිරණ, පීඩනයත් ය.
සූර්යයාගේ හරය තුළ හයිඩ්රිජන් වායුව අවසන් වූ දිනට සූර්යයා ප්‍රධාන අනුක්රමයෙන් ඉවත්ව යනු ඇත නමුත් එයට තවත් බොහෝ කාලයක් ගත වේ. අවසානයේ හයිඩ්රිජන් අවසන් වූ පසු ප්‍රධාන අනුක්රමයෙන් ඉවත් වන සූර්යයා මීළඟට පත්වන්නේ රතු යෝද අවස්තාවටයි. එවිට හරය තුළ හයිඩ්රිජන් අවසන් වී පැවතුනු විකිරණ පීඩනය ඉවත් වේ. මේ නිසා හරය දෙසට පවතින ගුරුත්වාකර්ෂණ බලය වැඩි වේ. එවිට හීලියම් සහිත හරය හැකිලීමට ලක් වේ. මේ නිසා තව දුරටත් උෂ්ණත්වය වැඩි වෙමින් යන විට හරයෙන් පිටත ඇති හයිඩ්රිජන් දහනය වීමට පටන් ගනී. මෙයින් නිපදවන ශක්තිය සූර්යයා ප්‍රධාන අනුක්රමනයේ පවතින විට නිපදවන ශක්තියට වඩා ඉහළ අගයකි. මේ නිසා නැවත ඇති වන විකිරණ පීඩනයද පෙර අගයට වඩා ඉහළ අගයක් ගනී. මේ හේතුවෙන් ප්‍රධාන අනුක්රමයෙන් ඉවත් වූ සූර්යයා කෙමෙන් කෙමෙන් විශාල වීමට පටන් ගනී. දැනට විශ්වාස කරන්නේ සූර්යයා රතු යෝධ තරුවක් බවට පත් වූ විට එහි විශාලත්වය අගහරුගේ කක්ෂය තරම් විශාල වන බවයි. එම නිසා තව අවුරුදු බිලියන 4.5 කට පසු සූර්යයා නිසා පෘථිවිය විනාශ වී යනු ඇත.
හරයෙන් පිටත ඇති හයිඩ්රිජන් දහනය වීමෙන් තව තවත් හීලියම් ඇති වේ. එම හීලියම් තව දුරටත් හරය තුල එක්රැස් වේ. මේ නිසා සූර්යයාගේ හරයේ උෂ්ණත්වය තව දුරටත් ඉහළ යයි. (මිලියන 100 ක් පමණ). මෙම උෂ්ණත්වයට පත් වීමත් සමග හරය තුළ ඇති හීලියම් දහනය ආරම්භ වේ. මෙසේ හීලියම් දහනයත් සමග උෂ්ණත්වය තව දුරටත් ඉහළ යයි සූර්යයා හා එයට සමාන ස්කන්ධ සහිත තරු වලට සාමාන්‍යයෙන් වසර මිලියන 100 ක් පමණ දහනය කිරීමට අවශ්‍ය හීලියම් පවතින බව විශ්වාස කරයි. හරය තුළ හීලියම් අවසන් වූ විට නැවත හරය හැකිලීමට ගනී. එවිට හරය තුළ පවතින අනික් මූලද්‍රව්‍ය දහනය කිරීමට තරම් අවශ්‍ය උෂ්ණත්වය හරය තුළ නොපවතී. එම නිසා හරයෙන් පිටත ඇති හීලියම් දහනය වීමට ආරම්භ වන අතර එයින් උපදවන ශක්තියෙන් ඒ අවට ඇති හයිඩ්රිජන්ද දහනය වේ. එවිට මෙම රතු යෝධ අවධියේ පවතින තරුව තවත් ප්‍රසාරණය වේ. පෙර පැවසූ පරිදි අගහරුගේ කක්ෂය දක්වා ප්‍රසාරණය වන්නේ මේ අවදියේදිය.
මේ අයුරින් කාලයක් ගත වන විට රතු යෝධ අවධියේ පවතින සූර්යයා හා එයට සමාන ස්කන්ධ තරු වල පිටත ස්ථර ගැලවී ගොස් වායු වලාවක් ලෙස එම තරුව වටා පවතී. මෙම වායු වලාව තුළ මවු තරුවේ සිදු වූ විවිධ ප්‍රතික්‍රියා නිසා ඇති වූ මූලද්‍රව්‍ය මෙන්ම silicate සහ graphite වැනි ද්‍රව්‍යද ඇත. පිටත ස්ථර ඉවත් වූ පසු උෂ්ණත්වයෙන් අධික හරය පිටතට නිරාවරණය වේ. මෙම අධික උෂ්ණත්වය නිසාම එයින් පිටවන පාරජම්බුල (ultra violet) කිරණ මගින් එය වටා ඇති වායු වලාව අයණීකරනය කරයි. එවිට එම වායු වලාව විවිධ වර්ණ වලින් දිස් වේ. මෙම අවස්ථාව ග්‍රහ නිහාරිකාවක් නම් වේ. ග්‍රහ නිහාරිකාවක ආයු කාලය අවුරුදු 20,000ක් පමණ වේ.
මෙම වායු වලාව ඉවත්ව ගිය පසු ඇති වන්නේ සුදු වාමන අවස්ථාවයි. එම අවධියේ තරුවක් ඉතා බොහෝ කල් පවතිනු ඇත. ඉන්පසු මෙම සුදු වාමන තරුව කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය අඩු වී ගොස් කලු වාමන තරුවක් බවට පත් වන බවට විද්‍යාඥයන් විශ්වාස කරයි. නමුත් තරුවක් කලු වාමන තරුවක් බවට පත් වීමට ගත වන කාලය සලකා බැලූ විට අපගේ විශ්වය එම කලු වාමන තරුවක් ඇති වීමට තරම් කාලයක් පැවතී නැති බවට විශවාස කරයි.
මූලාශ්‍ර :
https://www.atnf.csiro.au/