නිම් නැති විශ්වය – මෙසියර් 8 ( Lagoon Nebula)
වැදගත් කරුණු :
වස්තුව – නිහාරිකාවකි (Nebula)
වර්ගය – විමෝචන නිහාරිකාවකි, H II කළාපය (Emission Nebula, H II Region)
වෙනත් නාමකරණ – මෙසියර් 8 (Messier 8), M8, ලැගූන් නිහාරිකාව (Lagoon Nebula), NGC 6523, Sharpless 25, RCW 146, Gum 72
තාරකා රාශිය – ධනු (Sagittarius)
විශුවදංශය (Right Ascension) – 18h 03m 37s
ක්‍රාන්තිය (Declination) – -24° 23′ 12″
පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ (Light Years) 4077/ කිලෝ පාර්සෙක් 1.25(1.25 Kilo Parsecs)
දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +6
අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – කලා 90 (90 Arc Minutes)
විශාලත්වය (අරය) – ආලෝක වර්ෂ 16 (පාර්සෙක් 5)
හැදින්වීම
මෙසියර් (Messier) නාමකරණයේ 8 වන ස්ථානයේ පවතින ගැඹුරු ආකාශ වස්තුව ලෙස ලැගූන් නිහාරිකාව (Lagoon Nebula) හැඳින්විය හැක. ලැගූන් යන වචන්යෙහි අරුත වන්නේ කළපුව යන්නයි. මෙම නිහාරිකාව කළපුවක් වැනි කිටසකින් මැදින් වෙන්වී තිබීම මෙම නම යෙදීමට හේතු වී ඇත. (මේ සමග ඇති ඡායාරූපය බලන්න)
නිහාරිකා යනු අභ්‍යවකාශයේ පැතිරී පවතින අති විශාල දූවිලි හා වායු වලාකුළු වේ. සමහර නිහාරිකා සුපර්නෝවා වැනි මියයන තාරකා පිපිරීමෙන් ඉවතට විසිවන වායුව හා දූවිලි වලින් හට ගන්නා අතර, තවත් සමහර නිහාරිකා නව තාරකා සෑදෙන ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි. නීහාරික ප්‍රධාන වර්ග 3 කි. ඒවා නම් විසරණය වූ නිහාරිකා (Diffuse Nebula), සුපර් නොවා අවශේෂ (Super Nova Remenents) හා ග්‍රහලෝක නිහාරිකය (Planetary Nebula). විසරණය වූ නිහාරිකා විමොචක (Emission), පරවර්තක (Reflection) හා අඳුරු (Dark) ලෙස නැවත වර්ගීකරනයට ලක්වේ.
ලැගූන් නිහාරිකාව විමෝචන නිහාරිකාවක් (Emission Nebula)ලෙස වර්ගීකරණය කර ඇති අතර එය H II කළාපයට (H II region) අයත් වේ.
මෙම වස්තුව 1654 වනවිට ජියෝවන්නි බැටිස්ටා (Giovanni Battista) විසින් සොයාගෙන ඇති අතර එය ඔහු nebulosa ලෙස නම් කර ඇත. 1680 දී පමණ ජොන් ෆ්ලෑම්ස්ටීඩ් (John Flamsteed) විසින් එය නිහාරිකාවක් ලෙස නම් කර ඇත.
චාල්ස් මෙසියර් (Charles messier) විසින් මෙසියර් නාමකරණයට මෙම ගැඹුරු ආකාශ වස්තුව ඇතුලත් කරේ 1764 මැයි මස 23 වන දිනය. ඔහු විසින් මෙය ඇතුලත පවතින වර්තමාන NGC වර්ගීකරණයන්ට අනුව NGC 6530 ලෙස හඳුන්වන තරු පොකුර ප්‍රධානව සලකා ඇති අතර ඊට පරිබාහිරව මොහු විසින් නිහාරිකාව ද සලකා ඇත. විලියම් හර්ෂල් (William Herschel) විසින් මෙම ගැඹුරු ආකාශ වස්තුව NGC නාමකරණයට ඇතුළත් කර ඇත්තේ ලා පැහැති නිහාරිකාවක් ලෙස සලකාය.
මෙම නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000-5000 ත් අතර දුරකින් පිහිටා ඇති අතර අහසේ කලා 90×40 ක පමණ ප්‍රමාණයක් මෙමගින් ආවරණය වෙයි.
සාමාන්‍ය දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිතයෙන් මෙම නිහාරිකා දැකබලාගත හැකිවන අතර පියවි ඇසින් දැක බලා ගැනීමට නම් ඉතා හොඳ කාලගුණ තත්ත්වයක් සහ ඉතා අඩු ආලෝක දූෂණයක්,වායු දූෂණයක් පැවතිය යුතුය. මෙම නිහාරිකාව ධනු (Sagittarius)
තාරකා රාශිය පසුබිම් කරගෙන පවතින විශාලතම හා දීප්තිමත්ම නිහාරිකාවක් ලෙස සැලකිය හැක.
මෙම නිහාරිකාව බොහෝ Bok globules දරන අතර ඒවායේ නව තාරකා උපදී. සම්පූර්ණයෙන් මෙම නිහාරිකාව ආලෝක වර්ෂ 16 (පාර්සෙක් 5) පමණ විශාල වේ.
ලැගූන් නිහාරිකාවේ දීප්ති තාවය වැඩි කොටසක් hourglass Nebula ලෙස හඳුන්වයි. මෙය ජොන් හර්ෂල් (John Herschel) නැමැත්තෙක් විසින් සොයා ගන්නා ලදි. කුඩා දුරේක්ෂයක් භාවිතයේදී මෙම නිහාරිකාව තුළ කලාප දෙකක් ලෙස මෙය දැකගත හැක.
මෙම ලැගූන් නිහාරිකාව සැලැකීමේදී එය තුල පවතින Hershel 36 නම් උණුසුම් තරුණ තාරකාව, එහි තුළ පවතින දීප්තතාවය වැඩිම තාරකාවයි. මෙම තාරකාව ප්‍රධාන වශයෙන් මෙම නිහාරිකාව ආලෝකමත් කිරීමට වැදගත් වී ඇති අතර ඒ මගින් නිකුත් කරන විකිරණ සහ පාරජම්බුල කිරණ නිසා නිහාරිකාව තුළ පැවතිණ වායු වර්ග රත් වීම සහ අයනීකරණය වීම සිදුවේ. එසේම එම තාරකාවේ බලපෑම නිසා මෙම නිහාරිකාව තුළ බොහෝ ලක්ෂණ ඇති වී ඇති බව නාසා ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත. මෙම තාරකාව අපගේ සූර්යයා මෙන් 200,000 පමණ විශාල වන අතර එහි වයස පිළිබඳ සලකා බැලීමේදී එය ඉතා තරුණ තාරකාවක් ලෙස සැලකිය හැක.
හබල් දුරේක්ෂය මගින් මෑතකදී ලබාගත් තොරතුරු අනුව ලැගූන් නිහාරිකාව ත්‍රිමාණ ආකාරයේ විශ්ලේෂණයක් සිදු කිරීමට හැකියාව ලැබී ඇත. එහිදී එහෙම නිහාරිකාව අභ්‍යන්තරයේ පවතින තාරකා මගින් නිහාරිකාවේ පවතින දූවිලි පිටතට තල්ලුකිරීමේ නිසා ඔක්සිජන් වායුව ඇති වන උෂ්ණත්ව වෙනස් වීම් නිල් පැහැයෙනුත්, Hershel 36 තාරකාවේ ආලෝකය කහ පැහැයෙනුත් , රතු පාටට හුරු ප්‍රදේශ නයිට්‍රිජන් බහුල වීම නිසා ඇති වූ බවත් හයිඩ්රජන්, ඔක්සිජන් සහ නයිට්‍රිජන් බහුල ප්‍රදේශය දම් පැහැයෙන් පෙනෙන බව සොයාගෙන ඇත.
පිහිටීම
මෙසීයර් 8 ලැගූන් නිහාරිකාව(Lagoon Nebula) ධනු තාරකා රාශිය (sagittarius) පාදක කරගෙන පෙනේ.(Teapot asterism එකට උඩින් ). මෙම නිහාරිකාව kaus media තාරකාවට අංශක 6ක් පමණ ඉහළින් පිහිටයි. තවත් සරලව මෙම නිහාරිකාව සොයා ගැනීමට ධනු තාරකා රාශියේ Nunki සහ Kaus Borealis තාරකා සරල රේඛාවක් මගින් ක්ෂීරපථය දෙසට යොමු කරහොත් එය අංශක 6ක් පමණ ක්ෂීරපථය දෙසට වන්නට පිහිටයි(පහත තරු සිතියම බැලීම මගින් අවබෝධ කරගත හැක). පියවි ඇසින් නිරීක්ෂනය කිරීමට ඉතා හොඳ පරිසර තත්ත්ව තිබිය යුතු අතර දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිතා කිරීම පහසු වේ.
ඡායාරූප :
දම්සිත් ආසිරි වීරසිංහ
අනුශාසක, ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය
මූලාශ්‍ර :
International Astronomical Union (IAU)
The National Aeronautics and Space Administration (NASA)
http://www.messier.seds.org/
https://www.messier-objects.com/