ජීවිත 7ක් සමග උඩු ගුවනේ විනාශ වූ “Challenger”
1986 ජනවාරි 28 දිනය ඇමරිකානු ඉතිහාසයේ අදුරුම දිනයක් බවට පත් විය. මිලියන ගණනක් වූ ඇමරිකානු ජනතාවගේ අපේක්ෂාවෙන් කදුලින් තෙත් කිරීමට ගතවූයේ
තත්පර 73ක් වැනි ඉතා කෙටි කාලයකි. ඒ චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය ගගනගාමීන් හත් දෙනෙකු සමගින් ගුවන්ගත වී සුලු වේලාවකින් දස දහස් ගණනක් වූ ඇමරිකානුවන් බලාසිටියදී පුපුරා විනාශ වීම නිසාය.
1976 දී ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනය (නාසා ආයතනය) විසින් ලොව ප්‍රථම වරට නැවත භාවිතා කළ හැකි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චැලෙන්ජර් අභ්‍යවකාශ යානය ලෙස නම් කරන ලදී. නාසා හි සේවයට පිවිසෙන දෙවන අභ්‍යවකාශ යානය වන චැලෙන්ජර් 1983 අප්‍රේල් 4 වන දින සිය මංගල ගමන ආරම්භ කළ අතර 1986 ට පෙර මුළු අභ්යවකාශගතවීම් නවයක් සිදු කර තිබිණි. ඉන් පෙර 1981 දී කොලොම්බියා ෂටලය ගගනගාමීන් 2කු සමග ගුවන්ගත වී තිබුණි.
චැලෙන්ජර් දියත් කිරීමට සූදනම් කොට තිබුනේ 1986 ජනවාරි 22 වන දිනය. සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුලත්වූ අතර එහි නිව් හැම්ප්ෂයර් හි 37 හැවිරිදි උසස් පාසැල් සමාජ අධ්‍යයන උපදේශිකා ක්‍රිස්ටා මැක්අලිෆ් ද විය. මාස ගණනක පුහුණුවෙන් පසු ඇය අභ්‍යවකාශයට ගිය පළමු සාමාන්‍ය ඇමරිකානු පුරවැසියා බවට පත්වීමට නියමිතව සිටියාය. නමුත් ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙහෙයුම දියත් කිරීම කාලගුණය සහ තාක්ෂණික ගැටළු හේතුවෙන් දින හයක් ප්‍රමාද විය.
ජනවාරි 28 වෙනිදා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මූසල දිනයක් වූ අතර උදෑසන අසාමාන්‍ය ලෙස පරිසරය සීතල වූ බැවින් ඉංජිනේරුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ට අනතුරු ඇඟවූයේ ඇතැම් සංරචක, විශේෂයෙන් ෂටලයේ රොකට් බූස්ටරයේ සන්ධි මුද්‍රා තැබූ රබර් මුදු අඩු උෂ්ණත්වවලදී අසමත් වීමේ අවදානමට ලක්විය හැකි බවයි. කෙසේ නමුත් මෙම අනතුරු ඇඟවීම් නොසලකා හරින ලද අතර පෙරවරු 11:39 ට චැලෙන්ජර් යානය දියත් කරන ලදී. තත්පර කිහිපයක් ඇමෙරිකානුවන්ගේ සතුට හා බලාපොරොත්තු රැගෙන ඉහල ඇදුනු චැලෙන්ජර් පුපුරා විනාශ වූයේ වටිනා ජීවිත 7ක් ඇමරිකාවට අහිමි කරමිනි.
මෙම සිදුවීම ෂටලය දියත්වන අයුරු භූමියේ සිට බලාසිටි සියලුදෙනා මහත් කම්පනයට පත්කල අතර රූපවාහිනීය ඔස්සේ නැරඹූ මිලියන ගණනකටද ඉතා වේදනාකාරී සිදුවීමක් විය. අනතුරට හේතුව ලෙස සොයාගත්තේ රොකට් බූස්ටරයේ කොටස් මුද්‍රා තැබීම සඳහා නිර්මාණය කර ඇති රබර් මුදු (O-ring seal) දෙකක් දියත් කළ උදෑසන සීතල උෂ්ණත්වය හේතුවෙන් අසාර්ථක වී ඇති බවයි.
ව්‍යසනයෙන් ටික කලකට පසු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් චැලෙන්ජර්හි වැරැද්ද කුමක්දැයි තීරණය කිරීම සහ අනාගත නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කරන ලදී. හිටපු රාජ්‍ය ලේකම් විලියම් රොජර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසමට හිටපු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ හිටපු පරීක්ෂණ නියමු චක් යෙගර් ඇතුළත් විය.
රොකට් බූස්ටර නිර්මාණය කළ මෝර්ටන් තයොකොල් (Morton Thiokol) සමාගම විභව ගැටළු පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බව ද කොමිසම සොයා ගත්තේය. නාසා හී කළමනාකරුවන් මෙම ගැටළු පිළිබඳව දැනුවත්ව සිටි නමුත් ක්‍රියාමාර්ග ගැනීමට අසමත් විය.
මාධ්‍ය ඔස්සේ නාසා ආයතනය ජනතාවගේ මුදල් නාස්ති කරන බවට චෝදනා එල්ලවු අතර අනාගතයේ සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම සදහා සූදානම් වීමට නාසා ආයතනය වසර දෙකකට සිය සියලු අභ්‍යවකාශය මෙහෙයුම් අත්හිටවන ලදී. 1988 කොලොම්බියා ෂටලය සාර්ථකව දියත් කිරීමෙන් නාසා ආයතනය නැවතත් මෙහෙයුම් අරභණ ලදී.
චැලෙන්ජර් ව්‍යසනයෙන් වසර දහයකට පසු අභ්‍යවකාශ යානයෙන් විශාල කැබලි දෙකක් ෆ්ලොරිඩා වෙරළ තීරයට ගසාගෙන පැමිනි බව සදහන් වේ.
චැලෙන්ජර් පුපුරා යන අවස්ථාවේ භූමියේ සිට එය බලාසිටි නරඹන්නන් කම්පාවන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය. එලෙස ලබාගත ඡායාරුවක් වන මෙහි පලමු ඡායාරුව ලොව ජනප්‍රිය වූ ඡායාරූ අතරින් එකක් වේ.