ඊටා ඇක්වාරීඩ්ස් (Eta Aquarids) උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරමු.
ග්රහකයක් හෝ ධූමකේතුවක් තම ගමන් මාර්ගයේ (orbit) පාෂාණ කැබලි ඉතිරි කර යයි. පෘථිවිය පරිභ්‍රමණය වන විට මෙවන් පාෂාණ කැබලි පෘථිවියේ පරිභ්‍රමණ කක්ෂය හරහා විසිරී ඇත්නම්, ඒවා පෘථිවියේ ගුරුත්වයේ බලපෑමෙන් පෘථිවිය වෙතට ආකර්ෂණය වේ. එම පාෂාණ කැබලි පෘථිවි වායුගෝලයේදී දැවී අවසන් වේ නම් ඒවා උල්කා (meteors) ලෙස හඳුන්වයි. මෙවන් පාෂාණ කැබලි කිහිපයක් එකම ප්‍රදේශයකින් හටගන්නා සේ පෙනේ නම් එය උල්කා වර්ෂාවකි (meteor shower). මේ අනුව වාර්ෂිකව එම පාෂාණ කැබලි පෘථිවිය වෙත ආකර්ෂණය වන කාලවලදී එම උල්කා වර්ෂා අපට දැකිය හැකිය.
මේ දිනවල පවතින Eta Aquarids උල්කා වර්ෂාවට හේතුව වන්නේ 1682 වසරේදී එඩ්මන්ඩ් හැලී විසින් සොයාගත්, සුප්‍රසිද්ධ හැලීගේ ධූමකේතුවයි (Halley’s comet, 1P/Halley). මෙම උල්කා වර්ෂාවේ විමෝචක ලක්ෂ්‍යය (Radiant) Aquarius ( කුම්භ ) තාරකා රාශියේ Eta Aquarii තාරකාව අසලින් වීම නිසා මෙම උල්කා වර්ෂාවට ඒ නම ලැබී ඇත. ඉතා වේගවත් උල්කා වර්ෂාවක් වන මෙහි උල්කාවක ප්‍රවේගය 66km/h කි. අප්‍රෙල් 19 සිට මැයි 28 දක්වා ක්‍රියාත්මක මෙම Aquarids උල්කා වර්ෂාවේ උච්චතම (peak) දිනයන් වනුයේ මැයි 4-5 දිනයි. Eta Aquarids උල්කා වර්ෂාවේ ZHR (Zenithal hourly rate) අගය 39ක් වේ. උල්කා වර්ෂාවක ZHR අගය යනු එම උල්කා වර්ෂාව විහිදෙන්නා සේ පෙනෙන ප්‍රදේශය (radiant) නිරීක්ෂකයාගේ හිස මුදුනේ පවතින විට පැයක් තුළ එම නිරීක්ෂකයාට දැකිය හැකි උල්කා සංඛ්‍යාවයි. එහි උච්චතම අවස්ථාවේදී ZHR අගය 50ක් දක්වා වැඩිවිය හැකිය.
උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම
මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා මැයි මස මුල් කාලය ඉතා සුදුසුයි. මැයි මස මුල් කාලයේ දී පෙ.ව 2.00 පමණ කුම්භ රාශිය උදා වීමත් සමග හිරු උදාව දක්වා ඔබට මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකියි. මෙම උල්කාපාත වර්ෂාව අපට නිරීක්ෂණයට හැකි වන්නේ පොහොය දිනට පෙර දින කිහිපයකට පෙර නිසා සද එළිය මෙය නිරීක්ෂණයට බාධාවකි. කෙසේ නමුත් අලුයම් කාලයේ සද බටහිර අහසේ ඇති බැවින් කාලය ගෙවී යාමත් සමග මෙම බාධාව ක්‍රමයෙන් පහව යනු ඇත.
පළමුව ඔබ නැගෙනහිර අහසේ දකුණු පසට නැඹුරුව පවතින කුම්භ රාශිය හදුනාගන්න. ඉන්පසු මෙම රාශියේ දෙවනුවට දීප්තිමත් තාරකාව වන Sadalmelik හදුනාගන්න. (මේ සදහා ඔබට දුරකථන යෙදවුම් හෝ තරු සිතියමක් උදවු කර ගත හැකිය) 6° ක් පමණ පහලින් Eta aquarids හි විමෝචක ලක්ෂ්‍යය පිහිටා ඇත. නමුත් හුදෙක් ඔබ නිරීක්ෂණය කළ යුත්තේ මෙම කුම්භ රාශියවත් විමෝචක ලක්ෂ්‍යය වත් පමණක් නොවේ. ඔබ මෙම රාශිය හා ඒ අවට අහස නිරීක්ෂණය කළ යුතුයි. ඔබ නිරීක්ෂණය කරන වේලාව් සිට ඔබේ ඇස අහස දෙසින් ඉවතට නොගන්න. මන්දයත් එක් නිමේශයකින් උල්කාවක් නිරීක්ෂණය වී අවසන් විය හැකි බැවිනි.
කුම්භ තරු රටාව හෝ Eta aquarids උල්කාපාත වර්ෂාව ඔබට සොයාගැනීමට යොදාගතහැකි විවිධ ජංගම දුරකථන යෙදවුම් පහත දැක්වේ.
1. Stellarium (iOS/Android) – $2.99
2. Google Sky Map (Android) – Free
3. Night Sky (iOS) – Free
4. Sky Map
5. Star Walk 2
කළණ නෙත්සර
සහකාර සංස්කාරක
නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය
තමරු නිම්සර සමරනායක
උප සභාපති
නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය