ලෝකයේම අවධානය දිනාගත් Elon Musk ගේ SpaceX- Crew Dragon මෙහෙයුම
ඇහැටවත් නොපෙනෙන වෛරසයකට ලෝකයම බියට පත්වී සිටින පසුබිමක ලෝකයේම අවධානය වෙනස් කරන්න සුප්‍රකට ව්‍යාපාරිකයෙකුට හැකි වුණා. පසුගිය දින කිහිපයේ ලෝකයේ වැඩිම අවධානමක් දිනාගත් පුවත, ලෝකයේ බොහෝ රටවල Youtube trending අංක 1 හිමි කරගත් Live වීඩියෝව තාරකා විද්‍යාවට හෝ අභ්‍යවකාශ ගවේශණ පිළිබදව ඇළුම් කරන්නෙක්නම් අනිවාර්යෙන්ම ඔබත් නරඹා ඇති. NASA ආයතනය හා කෝටිපති ව්‍යාපාරික Elon Musk ට අයත් SpaceX ආයතන එක්ව දියත් කල SpaceX Dragon මෙහෙයුම තුළ පළමු වරට, සාර්ථකව ගඟනගාමීන් දෙදෙනෙකු පෘථිවි කක්ෂයකට රැගෙන යාමට පසුගිය දා සමත් වුනේ ඇමරිකානු අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පරිඡේදයක් සනිටුහන් කරමිනුයි. ඊට හේතුව ඇමරිකානු ෂටල ව්‍යාපෘතියට සමු දීමෙන් අනතුරුව දශකයකට ආසන්න කාලයකට පසුව ඇමරිකානු යානයකින් ගඟනගාමියෙකු අභ්‍යවකාශය වෙත ගෙන යන මෙහෙයුම මෙය වීම නිසාම පමණක් නොවේ. මේ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමග SpaceX ආයතනය පුද්ගලික යානයක් මගින් අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන පළමු පුද්ගලික ආයතනය බවටද පත් වෙන නිසාත් වෙනවා.
අත්දැකීම් බහුල NASA ගඟනගාමීන් දෙදෙනෙකු වන Bob Behnken හා Doug Hurley තමයි මේ SpaceX විසින් නිර්මාණය කල නවතම ස්වයංක්‍රීය අභ්‍යාවකාශ කැප්සියුලය වන Crew Dragon තුළට නැඟී මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නෙ. මේ Crew Dragon අභ්‍යාවකාශ කැප්සියුලය මඟින් තමයි ඉදිරියේදි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගඟනගාමීන් රැගෙන යාමට හා ඒමට නියමිතව තිබෙන්නෙ.
මේ කැප්සියුලය තරමක් වෙනස් ආකාරයේ හැඩයක් ගන්නවා. මේ අමුතු හැඩැති කැප්සියුලය තුළට නැගුණු මොවුන් දෙදෙනාවත් රැගත් SpaceX Falcon 9 රොකට්ටුව පසුගිය සෙනසුරාදා (30) පෙරදිග වේලාවෙන් (ET) පස්වරු 3:22 ට ෆ්ලොරිඩාවේ NASA හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවන් ගත උනා. ගුවන්ගත වී මිනිත්තු 12 කට පසුව රොකට්ටුව, Crew Dragon කැප්සියුලය කක්ෂයට මුදාහරිනු ලැබුවා. අනතුරුව සිය කාර්ය නිමා කල Falcon 9 ආපසු පෘථිවිය වෙත පැමිණ ගොඩ බසිනු ලැබුවෙ සාගරය මැද විශේෂයෙන් ස්ථානගත කරන ලද ඩ්‍රෝන නෞකාවක් මතටයි. මෙලෙස යළි භාවිතයට ගත හැකි ලෙස රොකට්ටුව සුමටව ගොඩබැස්සවීම Falcon 9 හි සුවිශේෂී කරුණක් වනවා.
සැබැවින්ම මේ මෙහෙයුම SpaceX විසින් පසුගිය වසර 6 තුළ දියත් කල මෙහෙයුම් සියල්ලකටම වඩා සුවිශේෂී වෙනවා. NASA ආයතනය සිය ගඟනගාමීන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සහ ඒමට නව යානයක් නිපදවීම පිළිබඳ කරුණට පෞද්ගලික ආයතන 2ක් සමග එකඟතාවයකට පැමිණියා. එලෙස එකඟතාවයකට පැමිණි SpaceX හා Boeing යන ආයතන දෙක අතුරින් SpaceX මේ වන විට පියවර කිහිපයක්ම ඉදිරියෙන් සිටිනවා.
කෙසේ වුවත් මේ මෙහෙයුම හදුන්වන්නේ SpaceX – Crew Dragon හි අවසන් අත්හදා බැලීම ලෙසයි. අත්හදා බැලීමේ මෙහෙයුමක් වුවත් මෙය තුළින් ඇමරිකාව පීඩා විඳි විශාල බරක් ඔවුන්ගෙන් ලිහිල් කිරීමට සමත් වෙනවා. 2011.07.08 NASA ෂටල ව්‍යාපෘතියේ අවසන් මෙහෙයුම දියත් කිරීමෙන් අනතුරුව මේ දක්වාම ISS වෙත NAS ගඟනගාමීන් ප්‍රවාහනය කරන්න යෙදුනේ රුසියානු සෝයුස් යානා මගින්. ඔවුන් ඒ සදහා එක් පුද්ගලයෙකුට ඇ.ඩො.මි. 80 ක මුදලක් වැය කරනු ලැබුවා. ඉතිහාසය පුරාම ඇමරිකානු රජය තමයි ඔවුන්ගේ අභ්‍යවකාශ ව්‍යාපෘති සියල්ලකම බරපැන දැරුවේ. 2014 වසරේ NASA ආයතනය තීරණය කලා ඒ වගකීමෙන් කොටසක් පුද්ගලික අංශය වෙත පවරන්න. ඒ අනුව මෙම ආයතන 2ම 2017 වසර වන විට ගඟනගාමීන් අභ්‍යාවකාශයට ගෙනයාමට සමත් වෙතැයි NASA ආයතනය අපේක්ෂා කළද තාක්ෂණික බාධා හා ගැටළු වලට මුහුණ දෙමින් අවසානයේ SpaceX මේ වසරේ සාර්ථකව එම කඩඉම ජයගනු ලබනවා. මේ මෙහෙයුම පවා ඇත්තෙන්ම දියත් කිරීමට සැලසුම් කර තිබුණේ පසුගිය 27 වෙනිදායි. අයහපත් කාළගුණය හේතුවෙන් ගමන මැයි 30 ට කල් දැමුණු අතර මේ හේතුවෙන් ගඟනගාමීන් හට අමතර දින දෙකක් ව්‍යායාම් වල නිරත වීමට සිදු වුනා. එබැවින් ISS හා සම්බන්ධ වීමෙන් අනතුරුව දෙදෙනාම විවේක ගත යුතු බව නිර්දේශ කර තිබුණා.
පැය 19ක් පෘථිවි කක්ෂයක් තුළ රැදී සිටීමෙන් අනතුරුවයි Crew Dragon, ISS වෙත සම්බන්ධ වීමට(docking) යෙදුණේ. මෙම සම්බන්ධ වීම සියළුම දෙනා හට සජීවීව දැක බලාගැනීමට NASA ආයතනය සිය Youtube නාලිකාව හරහා අවස්තාව ලබා දී තිබුණා. මෙම ස්වයංක්‍රීය සම්බන්ධ වීමේ තාක්ෂණයද SpaceX හි සුවිශේෂී කරුණක්. මෙම තාක්ෂණය පසුගිය වසරේදී මිනිසුන් රහිත Crew Dragon යානාවක් මගින් අත්හදා බලා තිබුණද මෙහිදී එය සුවිශේෂී වන්නෙ මිනිසුන් දෙදෙනෙක්ද මීට ඇතුළත්ව සිටීමයි. මින් පෙර SpaceX විසින් ISS වෙත සැපයුම් රැගෙන යාමට නිපදවපු Cargo Dragon තුළ මෙම තාක්ෂණය අන්තර්ගත වී නොතිබුණ අතර එහිදී සිදු කෙරුණේ ISS හි රොබෝ අත මගින් එම යානය ග්‍රහණය කරගෙන docking port වෙත ගෙන ඒමයි. Berthing ලෙස හැදින්වෙන මෙම ක්‍රියාවලියට ISS හි රැඳී සිටින ගගනගාමීන් හට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. මෙම ස්වයංක්‍රීය සම්බන්ධ වීමේ තාක්ෂණය හේතුවෙන් ගඟනගාමීන් විශාල වැඩ කොටසකින් නිදහස් කිරීමට හැකි වෙනවා.
කෙසේ නමුත් ඕනෑම අවස්තාවකදී යානය තම පාලනයට ගැනීමට Crew Dragon හි ගඟනගාමීන් හට හැකියාවක් පවතින අතර Behnken සහ Hurley සිය ගමන අතරතුර කිහිප වරක්ම මෙය අත්හදා බලනු ලැබුවා. මෙම ස්වපාලන ක්‍රියාවලිය තුළ යානයේ පාලනයට Crew Dragon අභ්‍යන්තරයේ ඇති ස්පර්ශ සංවේදී තිර පුවරුව සහය වෙනවා. ගඟනගාමීන්ගේ විශේෂිත ඇදුම් වල ඇති අත් වැසුම්ද එම ස්පර්ශ තිර වලට ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබෙනවා.
ඔබ විකාශනය නැරඹුවානම් ඇතැම් විට ඔබ දකින්න ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මීටර 220ක දුරකදී Hurley අත්වැසුම් පැළඳ සිටියදීම යානය තමන්ගේ පාලනය ගන්නවා. තව දුරටත් ඔබ අවධානයෙන් නැරඹුවානම් යානයේ පැති තෙරපුම් කාරක ක්‍රියාත්මක වන අයුරුත් සමහරවිට ඔබ නිරීක්ෂණය කරන්න ඇති.
පෘථිවි කක්ෂයට පිවිසීමෙන් අනතුරුව Behnken සහ Hurley ඔවුන්ගේ කැප්සියුලය Endeavour ලෙස නම් කර තිබුණා. ඊට හේතු කිහිපයක්ම ඔවුන් පවසා තිබුණා. එකක් තමයි ඔවුන් දෙදෙනාගෙම පළමු අභ්‍යවකාශ ගමන වෙන්නෙ Endeavour ෂටලයෙන් වීම. කක්ෂගතව සිටි කාලය අතරතුර Behnken සහ Hurley කෙටි නින්දකටද යොමු වුන අතර වැසිකිලි පහසුකම් වැනි පහසුකම්ද ඔවුන් අත්හදා බලන්නට යෙදුනා. පෙරදිග වේලාවෙන් (ET) පෙරවරු 10.29ට සම්බන්ධ වීම සිදු වුවද ඉන් අනතුරුව පැය කිහිපයක් ඔවුන් දෙදෙනා හට යානයේ රැදී සිටීමට සිදු වුනා. දීර්ඝ උත්සාහයකින් අනතුරුව Crew Dragon හි hatch එක විත කරගත් පසුව Behnken සහ Hurley ඒ වන විට ISS හි රැදී සිටි Chris Cassidy, Anatoly Ivanishin සහ Ivan Vagner සමඟ එකතු වුනා. අනතුරුව මිනිත්තු 30ක පමණ කාලයක් පුරා ඔවුන්ව පිළිගැනීමේ වැඩසටහනක්ද සිදු කෙරිණා.
එපමණකින්ම Crew Dragon හි අවසන් අත්හදා බැලීමේ මෙහෙයුම අවසන් වෙන්නෙ නෑ. සති 16ක් පමණ කාලයක් ISS හි රැදී සිටීමට අපේක්ෂා කරන මොවුන් දෙදෙනා නැවතත් යානයට ඇතුළු වී ආපසු පොළොවට පැමිණීමෙන් අනතුරුව මෙම අත්හදා බැලීම සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇත. ආපසු ගමනේදී අධික තාපයෙන් ආරක්ෂා වීමට Crew Dragon විශේෂිත තාප පලිහකින් සමන්විත වන අතර අත්ලාන්තික් සාගරය වෙත සුමට ලෙස ගොඩබැසිය හැකි වන පරිදි පැරෂුට 4කින්ද මෙය සමන්විත වේ. එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමත් සමග පුද්ගලික යානා මගින් අභ්‍යවකාශය වෙත සංචාරකයන් හා ගගනගාමීන් රැගෙන යාම ආරම්භ කල බවට NASA ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ඇත.
මූලාශ්‍ර – theverge.com