කාල තරණය (Time Travelling) සත්‍යක්ද..??
ඇත්තටම ඔබට අතීතයට ගොස් ඒ වුන සිදුවීම් නැවත බලා ගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඔබ එයට කැමති වෙනවාද? එසේත් නොමැති නම් අනාගතයට ගොස් ඉදිරියේ වීමට ඉඩ ඇති දේ කලින්ම දැකගන්නට, ඔබේ සිතේ ආසවක් තිබෙනවාද? මේ සිදුවීම් දෙකම සිදු කරගන්නට නම් ඔබට කාලය හරහා ඉදිරියට හෝ පසුපසට ගමන් කිරීමට සිදුවෙනවා. ඇත්තටම කාලය හරහා ගමන් කල හැකිද?
කාල තරණය සිදු කල හැකිද නොහැකිද යන්න ස්ථිර වශයෙන්ම පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්නයක්. මන් එහෙම කිව්වම ඔබට සිතේවි එහෙනම් කාලය හරහා ගමන් කිරීමට ඇත්තටම හැකියාවක් ඇති නේද කියලා. දැනට විද්‍යාවේ අපිට පෙනෙන්නට තිබෙන කරුණු අනුව නම් අතීතයට හෝ අනාගතයට ක්ෂණික පිම්මක් පැනීමට හැකි බවට කිසිම සිද්ධාන්තයකින් ඔප්පු වී නැහැ. එසේම කාලය හරහා ගමන් කල හැකි යන්ත්‍රයක් (time machine) තවමත් නිර්මාණය වී නැහැ. එනමුත් ඇතැම් විද්‍යාඥයන්ගේ මතයන් අනුව කාලය හරහා ගමන් කිරීම සිදුකල නොහැකි යැයි සම්පූර්ණයෙන්ම බැහැර කර දැමිය නොහැකි කරුණක්.
කොහොමද අපි දන්නේ ඇත්තටම කාලය අභිබවා යන්න පුලුවන් කියලා..?
අප දැනට දන්නා පරිදි අවකාශය මාන 3කින් දැක්විය හැකි ලෙසම කාලය ද එවැනිම වූ තවත් මානයක් ලෙස දැක්විය හැකිය. මේ පිළිබඳව මුල් වරට පැවසුවේ අයින්ස්ටයින් විසිනි. ඔහු පවසන පරිදි අවකාශය සහ කාලය එකිනෙකට සම්බන්ධය. එසේම ඔහුගේ සාපේක්ෂතාවාදය තුලින් ඔහු පෙන්වාදෙන්නේ, අපේ විශ්වයට නිශ්චිත වූ වේග සීමාවක් ඇති බවයි. එය ආලෝකයේ වේගයයි. එම වේග සීමාව ඉක්මවා යා හැකි කිසිවක් නොමැති බව ඔහු පවසනවා.
ඇත්තටම මේ කාලතරණය ගැන කතා කරද්දි අපි බලන්න ඕන දෙයක් තමා කාලය හරහා යනවා කියන එකට මොකක්ද තියෙන පදනම කියන එක. අයින්ස්ටයින් ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව නම්, එක් එක් අය සිටින රාමුවට අනුව ඒ ඒ අයගේ කාලය ගතවන විධි සාපේක්ෂ වේ. කෙටියෙන් කියතොත් ඔබ ගමන් කරන වේගය (ඔබසිටින රාමුවේ වේගය) වැඩි වන තරමට ඔබට දැනෙන කාලය අඩුවේ.
මේ පිළිබඳ විද්‍යාඥයන් කර ඇති පරීක්ෂණයක් තමා මේ,
ඔවුන් ඒ සඳහා එකම ආකාරයෙන් වැඩකරන ඔරලෝසු දෙකක් ගෙන පෘථිවිය මත එක් ඔරලෝසුවකුත් වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක අනෙක් එක තබා, පෘථිවියේ භ්‍රමණ දිශාවටම ගුවන් යානය ගමන් කිරීමට සැලැස්වුවා. ගුවන් යානය එක් වටයක් ගමන් කල පසු ඔරලෝසු දෙකේ කාලයන් සසඳා බලුවා.
එහිදී දක්නට ලැබුනේ, වේගයෙන් ගමන් කල ගුවන් යානය මත තිබූ ඔරලෝසුවේ කාලය පෘථිවිය මත තිබූ ඔරලෝසුවේ කාලයට වඩා මිලිතත්පර ගණනක් අඩුවෙන් ගත වී ඇති බවයි.
මෙයින් පෙනී යන්නේ වේගයෙන් ගමන් කරන රාමුවක සිටින විටදී කාලය ගතවන වේගය අඩු වන බවයි. එනමුත් අපට ඇති ප්රශ්නය නම් මෙය නොව, වර්ථමානයේ ජීවත් වන අයෙකුට එකවරම අතීත හෝ අනාගත කාල වලට මාරු වීමට හැකිද යන්නයි.
අන්තර්ජාලය පරිශීලනය කරන ඔබට එවැනි තොරතුරු රාශියක් හමුවීමට ඉඩකඩ ඇති අතර ඒවා ඇත්තටම සිදු වූ ඒවාද යන්න නම් තහවුරු කල නොනැක.
කාලය හරහා අතීතයට ගිය සිදුවීමක්…
1911දී රෝමයේ සිට ගමන් ආරම්භ කල ඉතාලි ජාතිකයන් 106 දෙනෙකු රැගත් මැදිරි තුනකින් යුත් දුම්රියක් ලොම්බාඩ් ප්‍රදේශයේදී කන්දක උමගක් තුලින් ගමන් කිරීමේදී සම්පූර්ණයෙනම අතුරුදහන් වී ඇත. එය උමඟට ඇතුල්වන මොහොතේදී ඉන් දෙදෙනෙකු එලියට පැන බේරී ඇති අතර ඉතුරු ඉතාලි ජාතිකයන් 104 දෙනාට සිදුවූයේ කුමක්ද යන්න සොයාගත නොහැකි විය. බේරුනු දෙදෙනාද මානසික ව්‍යාකූලතාවයකට ලක්ව රෝහල් ගත කර සිටි අතර පසු කාලයකදි සුව අතට හැරී ඇත. ඔවුන් පවසා ඇත්තේ කිරිපැහැයට හුරු මීදුමකින් දුම්රිය වට වූ බවත් එය එන්න එන්නම ඝන වූ බවත්, ඔවුන්ව වචනයෙන් කිව නොහැකි අමුතු බියකින් වෙලාගත් බවයි. ඉක්මනින් ක්‍රියාත්මකවූ ඔවුන් දෙදෙනා දුම්රියෙන් පිටතට පැන ගෙන ඇත.
එම උමග තුලට ගිය දුම්රියට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම සෙවූවත් එය පිළිබඳ කිසිදු හෝඩුවවක් හමුවී නැහැ. පසුකලෙක එම උමග කඩා වැටුනු අතර ඒ පිළිබඳ කතාබහ නැවතී ගොස් ඇත. නමුත් අතුරුදහන් වූවකුගේ පවුලේ පිරිසක් දිගින් දිගටම මේ පිළිබඳ සොයද්දි 1926දී ඔවුනට අමුතු ආකාරයේ ප්‍රවෘත්තියක් අසන්නට ලැබී ඇත.
එහි සඳහන් වුනේ මෙක්සිකෝවේදී අතරමන් වූ ඉතාලි ජාතිකයන් 104 දෙනෙකු හමු වී ඇති බවත් රෝමයේ සිට පැමිණි දුම්රියකින් ඔවුන් පැමිණි බව පවසා ඇති බවත් ය. එහි විශේෂම කරුණ නම් මෙම සිද්ධිය වාර්ථා වී ඇත්තේ 1845 වර්ෂයේදීය! ඔවුන් උමතු වූවන් ලෙස සලකා මානසික රෝහලකට ඇතුලත් කර ඇති බවත් ඔවුන්ගේ ඇඳුම්ද 1845 ආසන්න කාලයට ගැලපුනු ඒවා නොවි ඇති බවත් ද සඳහන්! තවත් එක් සුවිශේෂි කරුණක් නම් එක් අයෙකු සතුව පැවති දුම්වැටි සහිත පෙට්ටියේ නිශ්පාදිත වර්ෂය ලෙස සටහන් වී ඇත්තේ 1907 වර්ෂයයි. (මෙක්සිකෝවේ කෞතුකාගාරයක එම පෙට්ටිය තවමත් සුරක්ෂිතව පවති)
මෙම සිදුවීම වූ ආකාරය නම් තවමත් අභිරහසක් වන අතර ලොම්බාඩ් උමග තුලදී ඔවුන් කාලය හරහා අතීතයට ගියාද යන්න ගැන කිසිවෙකුත් නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දී නැහැ.
කාලය හරහා අනාගතයට ගිය සිදුවීමක්…
1935 දී එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ ජේශ්ඨ නියමුවෙකු වන සර් රොබර්ට් වික්ටර් ගොඩාර්ඩ් හට, එඩින්බරෝ සිට එංගලන්තයේ ඇන්ඩෝවර් වෙත යන ගමනේදී ස්කොට්ලන්තයේ ඩ්රෙම් නම් ස්ථානයේ පිහිටා තිබුනු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අංගනයකට ඉහළින් පියාසර කිරීමට සිදුවුනා. එම කාලයේදී, පළවන ලෝක යුද්ධයෙන් පසුව කැඩුණු බිඳුණු උපකරණ ගොඩගැසීමට භාවිත කර තිබුනු මෙම ගුවන් යානා අංගනය තවදුරටත් භාවිතයේ නොතිබුනු එකක් නොවේ. ගොඩාඩ් ද පියාසැරියේදී දැක ඇත්තේ බොහෝ දුරට අතහැර දමා ඇති ගුවන් තොටුපළක් ලෙසයි. ආපසු එන ගමනේදී අතරමගදී ඔහු ගමන් කළ මාර්ගයම අනුගමනය කළ නමුත් ගුවන් ගමන අතරතුරදී ඩ්රෙම් හිදී කුණාටුවකට හසු වී ඇත. ඔහු ඔහුගේ යානය පාලනය කර ගැනීමට වෙහෙසෙන අතරදී, එය හදිස්සියේම පහළට ගමක් කර ඇත.
එහිදී අයහපත් කාලගුණය එකවරම පහවී ගොස් පහලින් තිබූ අංගනය ඔහුට පැහැදිලිව දැකගන්නට ලැබීලා තියෙනවා. මෙවර නම් එය අතහැර දැමූ අංගනයක් නොව එය කාර්යබහුල වූ ගුවන් තොටුපලක් වී තිබුනු අතර ගුවන් ධාවන පථයේ කහ පැහැති වූ ගුවන් යානා හතරක් සහ ඒවා වටා නිල්පැහැති ඇඳුමින් සැරසුනු කාර්මිකයන් කඩිසරව වැඩවල යෙදෙමින් සිටිනුත් ගොඩාඩ් හට දැකගන්නට ලැබිලා. නමුත් මෙම කාලය වන විට ඔවුන් භාවිතා කල ගුවන් යානා සියල්ලක්ම වාගේ රිදී පැහැයට හුරු ඒවා වූ අතර කාර්මිකයෝ භාවිත කලේ තැඹිලි පැහැයට හුරු ඇඳුම් ය. කෙසේ නමුත් හදිසීයේම නැවත කුණාටුව මතුවීම නිසා ඔහු ගුවන් යානය නැවත ඉහළට ගෙන ඇත.
1939 දී එම අතහැර දමා තිබූ අංගනය යලි ගොඩ නංවා ගුවන් ආරක්ෂක කඳවුරක් ලෙස භාවිතයට ගැනුනි. පසුකලෙකදී ඔවුනට අයත් ගුවන් යානා වර්ණ ගැන්වීමට කහ පැහැය භාවිතා කරන ලදි. එමෙන්ම කාර්මිකයෝ තම කාර්මික ඇඳුම් සඳහා තැඹිලි පැහැය වෙනුවට නිල් පැහැති වර්ණය යොදාගෙන ඇත. එසේ නම් එම පියාසැරියේදී ගොඩාඩ් ව හදිස්සියේම අනාගතයට යැව්නාද? කුණාටුව තුලදී හදිස්සි කාලතරණයක් වී ඔහුව නැවතත් සමාන්තර කාලයට එවුනාද?
ඉහත සිදුවීම් දෙකම කාලතරණයන් වූ බවට සැලකෙන ප්‍රසිද්ධ සිද්ධීන් දෙකකි. මෙම සිදුවීම් පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?