පියවි ඇසට පෙනෙන SWAN ධූමකේතුව
මේ දිනවල SWAN (C/2020 F8) නමින් හැඳින්වෙන වල්ගාතරුවක් ඉතා දීප්තිමත්ව අහසේ දැක ගත හැකි බව ඔබ මේ වන විටත් අසා තිබෙන්නට පුළුවනි.
පියවි ඇසින් දැකිය හැකි අවම දෘශ්‍ය දීප්ති විශාලත්වයේ අගය 6 කි. මේ වන විටත් SWAN මේ සීමාව පසු කර ඇත. පියවි ඇසට, අපැහැදිලි කුඩා බෝලයක් ආකාරයට දිස්වන මෙය දුරේක්ෂයක් ආධාරයෙන් හොඳින් නිරීක්ෂණය කළ හැක. ඇතැම් නිරීක්ෂකයින් වාර්තා කරනුයේ, SWAN වල්ගාතරුවට, අහසේ 8° ක පමණ කලාපයක් පුරා විහිදී ඇති වල්ගයක්ද සහිත බවයි.
SWAN ධූමකේතුව පෘථිවියට ආසන්නයෙන්ම ගමන් ගනුයේ මැයි මස 12 වන දින බවත් ඒ පෘථිවියේ සිට 0.56 Au (Astronomical Units – නක්ෂත්ර ඒකක) ඈතින් බවත් විශ්ලේෂකයින් විසින් තවදුරටත් පෙන්වා දී තිබෙනවා. එතරම් සමීපයට නොපැමිණියද නිරීක්ෂණ කටයුතු සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇත. ගණනය කිරීම්වලට අනුව එය දෘශ්‍ය දීප්ති විශාලත්ව ඒකක 3 හි සීමාව පවා පසු කිරීමට ඉඩ ඇති බවත් හත්දින්න (Pleiades) තරු පොකුරෙහි තරු වල දීප්තියට සමාන දීප්තියක් ගනු ඇති බවත් විශ්වාස කරයි.
මේ දිනවලදී SWAN ධූමකේතුව, සීටස් (Cetus) හෙවත් මුහුදු රාක්ෂයා තාරකා මණ්ඩලය පසුබිම් කරගෙන දිස්වෙන අතර ලබන සතිය වනවිට ක්‍රමක්‍රමයෙන් මීන (Pisces) තාරකා මණ්ඩලය දෙසට ගමන් ගැනීමට නියමිතය. අලුයම් කාලයේ හිරු උදාවට පැයකට පමණ පෙර නැගෙනහිර අහසේ 20° පමණ කෝණයකින් මෙය දැකගත හැකිය. එමනිසා මෙම ධූමකේතුව හොඳින් නිරීක්ෂණය කිරීමට නම්, නැගෙනහිර ක්ෂිතිජය අවට අහස හොඳින් දිස්වන ප්‍රදේශයකට යා යුතු ය.
සත්‍ය වශයෙන්ම SWAN වල්ගාතරුව සම්බන්ධ වැඩිදුර තොරතුරු තවමත් අභිරහස් කලාපයේ පවතී. මේ වල්ගාතරුව සොයාගනු ලැබූයේ සති කිහිපයකට පෙරය. ඒ අප්‍රේල් මස 11 වන දිනය. වල්ගාතරුව විසින් සිදුකළ ක්ෂණික හයිඩ්රජන් විමෝචනයකට අදාල දත්ත අභ්‍යවකාශයේ රඳවා ඇති SOHO (Solar and Heliospheric Observatory) නිරීක්ෂණාගාරයේ SWAN (Solar Wind Anisotropies) උපකරණයේ සටහන් වීම, වල්ගාතරුව සොයාගැනීමට පාදක වී ඇත. SWAN වල්ගාතරුවේ බහුවලයික පථය, එය සෞරග්‍රහ මණඩල අභ්‍යන්තරයට පැමිණි ප්‍රථම අවස්ථාව බවට සාක්ෂි සපයයි.
මෙලෙස පැමිණෙන ආධුනිකයින් පිළිබඳව පෙරැයීමක්ද කළ නොහැක. එහෙයින් කිසිවෙකුටත් මින් පසුව කුමක් සිදුවනුයේද යන්නද කිව නොහැක. නවතම තොරතුරු සමගින් රැඳී සිටින්න.