ඔල්බර්ස් ගේ විසංවාදයේ (Olber’s Paradox) පසුබිම
කාලය හා අවකාශය අනන්තය (Infinite) දක්වා විහිදයන සමජාතීය (Homogeneous) විශ්වයක් තුල, රාත්‍රී අහසේ අප කවර ප්‍රදේශය බැලුවත් එය අවසන් විය යුත්තේ තාරකාවක මතුපිටිනි. සෑම දර්ශන රේඛාවක්ම යම්කිසි තාරකාවක් මතුපිටින් මෙසේ අවසන් වන්නේ නම් රාත්රියේදී අහස මෙපමණ අදුරු වන්නේ ඇයිද කියා ඔබ මොහොතකට සිතා බැලුවාද? ඇත්ත වශයෙන්ම මෙය 1826 දී හයින්රික් ඔල්බර්ස් (Henrich Olbers) නැමති විද්වතාට ඇතිවූ දැවැන්ත ප්රශ්නයකි.
නමුත් මෙම ප්රශ්නය පිළිබදව වසර 1577 පටන් විටින් විට කතිකා ඇතිවී තිබෙනවා. අප දන්නවා 16 වන ශතවර්ෂයට ප්‍රථම පෘතුවිය විශ්වයේ කේන්ද්‍රයේ පිහිටා ඇති බවත් එය වටා සූර්යයා ඇතුලු ග්‍රහලෝක පරිභ්‍රමණය වන බවත් විශ්වාස කළ බව. භූ කේන්ද්‍ර වාදය ලෙස හඳුන්වන මෙම ආකෘතිය ඇරිස්ටෝටල් විසින් මීට වසර 2000 කට ප්‍රථම ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව වර්තමානයේ පිළිගන්නා සූර්යය කේන්ද්‍ර වාදය නිකොලස් කොපර්නිකස් විසින් ඉදිරිපත් කරන ලදී. කොපර්නිකස් ගේ ආකෘතියෙන් පෘතිවිය විශ්වයේ කෙන්ද්‍රයෙන් ඉවත් කළ පසු විශ්වයේ අනන්ත ස්වභාවය ගැන විද්වතුන් අතර විවිධ මතවාද ඇතිවිය ඉන් පසුව තාරකා විද්‍යාවේ දියුණුවක් ඇතිවූ අතර අදවන විට විශ්වයේ ගැබුරු රහස් අනාවරණය කරගැනීමට ලොව තුල පවතින්නේ දැඩි තරගකාරී ස්වභාවයකි.
විශ්වයේ අනන්ත ස්වභාවය ගැන 1576 පළමුවරට ඉතා ගැඹුරු ලෙස විග්රහ කරන ලද්දේ ගණිතඥයකු හා තාරකා විද්‍යාඥයකු වූ තෝමස් ඩිගස් (Thomas Digges) විසිනි. ඔහුගේ ඛගෝලය පිළිබඳව අර්ථ දැක්වීමේදී අරිස්ටෝටල් සඳහන් කර කළ ස්ථාවර තාරකා වෙනුවට අහඹු ලෙස විවිධ දුරවල් වලින් පිහිටි අනන්ත තාරකා සහිත අනන්ත වූ විශ්වයක් ගැන විස්තර කරන ලදී. මෙම නව අර්ථ විග්රහයේදී ඔහුට නව ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු විය. එනම් අනන්ත විශ්වයක ඇති අනන්ත තාරකා නිසා මුළු රාත්‍රී අහස ම ආලෝකමත් වන්නේ නැත්තෙ ඇයිදැයි යන්නයි. මෙය ඔල්බර් ගේ විසංවාදයට මුල්වූ අදහසක් ඇති වූ මුල්ම අවස්ථාව වේ. මෙයට ඩිගස් ගේ පිළිතුර වූයේ සමහර තාරකා ඉතා ඈතින් පිහිටා ඇති නිසා ඒවා අපට නොපෙනෙන බවයි.
කෙසේ වෙතත් මෙම අදහස්ට ප්‍රතිවිරුද්ධ අදහසක් සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයකු වන ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler) විසින් දරන ලදී. ඔහුගේ අදහස් වූයේ තාරකා ඈතින් පිහිටියත් ඒවා වගේ ආලෝක ප්රවාහයන්ගේ එකතුව නිසා මුළු අහසම සූර්යයා මෙන් දීප්තිමත්ව ව බැබලිය යුතුව තිබූ බවයි. කෙප්ලර් ගේ අදහස් වූයේ විශ්වය යනු අහඹු ලෙස තාරකා පැතිරී ඇති සීමාවන් සහිත අවකාශයක් ලෙස ය. කෙසේ වෙතත් පසු කාලයක ගැලීලියෝ වැනි විද්‍යාඥයන් ගේ පරීක්ෂණ හා පසුව කෙප්ලර් විසින්ම සිදු කරන ලද පරීක්ෂණ හා නිරීක්ෂණ වල ප්‍රතිඵල වලිනුත් විද්‍යාඥයන්, සීමා සහිත විශ්වය පිළිබඳව තිබූ මතවාදවලින් ක්‍රම ක්‍රමයෙන් ඈත් වූ බව පැහැදිලි වේ.
ඉන්පසුව 1744 දි ජීන් ෆිලිප් ලොයිස් ඩි චිසූ හා එඩ්මන්ඩ් හැලී (Jean Phillipe Loys de Chesaux and Edmund Halley) යන විද්‍යාඥයන් විසින් ගණිතමය මූලධර්ම උපයෝගී කරගෙන මෙම විසංවාදයට පිළිතුරක් සෙවීම්ට උත්සාහ ගන්නා ලදී. ඔවුන්ගේ අදහස වූයේ අනන්ත වූ විශ්වයේක් තුළ අනන්ත තාරකා සංඛ්‍යාවක් මගින් ආලෝකය පෘථිවිය දෙසට එන්නේ නම් රාත්‍රී අහස සූර්යයා මෙන් 180,000 ගුණයක් පමණ දීප්තිමත් විය යුතු බවයි. ඔවුන්ගේ අවසන් නිගමනය වූයේ මෙම තාරකා වලින් නිකුත්වන ආලෝකය අවශෝෂණය කරන අන්තර් තාරීය මාධ්‍යයක් විශ්වයේ පවතින බවයි.
මෙයට සමාන අදහසක් 1826 හයින්රික් ඔල්බර්ස් (Heinrich Olbers) විසින් ඉදිරිපත් කරන ලදී. රාත්‍රී අහසේ සෑම දර්ශන රේඛාවක්ම අවසන් විය යුත්තේ තාරකාවක මතුපිටින් බව ඔහු යෝජනා කරන ලද අතර ආලෝකය අවශෝෂණය කරන අන්තර් තාරීය මාධ්‍යයක් විශ්වයේ පවතින බව ඔහුද විශ්වාස කරන ලදී. චිසූ හා හැලී ගේ ක්‍රමයට වඩා පහසු අර්ථ දැක්වීමක් ඔහු ඉදිරිපත් කළ නිසා මෙම විසංවාදයට ඔහුගේ නම යෙදෙන්නට ඇති බව විශ්වාස කළ හැක.
වසර 1831 දී ජෝන් හර්ෂල් (John Herchel) නැමැත්තා විසින් අවශෝෂණ මාධ්‍ය පිළිබඳ මතය බැහැර කරන ලදී. ඔහුගේ අදහස් වූයේ සුර්යයලෝකයට වඩා 180000 ක ගුණයකින් පමණ තීව්‍රතාවයකින් යුක්ත විකිරණ වලින් මෙම විශ්වය පිරී ඇත්නම් පෘථිවිය තත්පර ගණනකදී වාෂ්ප වී යනු ඇති බවයි. එසේම තාරීය අවකාශයේ ඇති මාධ්‍ය මගින් මෙම කිරණ අවශෝෂණය කරගැනීමක් සිදු කරනු ලැබුවේ නම් යම් කාලයක් යනවිට එම මාධ්‍යය රත්වී තවදුරටත් විකිරණ අවශෝෂණය කිරීම නවතිනු ඇත. හර්ෂල් ගේ අඩි පාරේ යමින් එඩ්වඩ් ෆොනියර් ඩි ඇල්බෙ (Edward Founier d’Albe) පවසන්නේ අහස බොහොමයක් තාරකාවන්ගෙන් පිරී පැවතුනද ඒවා බොහොමයක් දිප්තතාවයෙන් අඩු වස්තුන්ගෙන්ද සමන්විත වන බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ තාරකා අහඹු ලෙස විශ්වයේ විසිරී නොපවතින බවත් ඒවා එකක් පසුපස එකක් පැවතීම නිසා ඉදිරියෙන් පෙනෙන තරු වලට පසු පසින් ඇති තරු වැසී යාමක් සිදුවන බවයි. හර්ෂල්ට පෙර මෙම විසංවාදය විද්වතුන් තෙරුම් ගත්තේ යම්කිසි තාරකා ආලෝකයක් අතුරුදහන් වී ඇති බවයි. හර්ෂල් විසින් අවශෝෂණ මාධ්‍ය පිළිබඳ මතය බැහැර කිරීමෙන් අනතුරුව මෙයට විසඳුමක් නැතිවීම නිසා එම අතුරුදහන් වූ ආලෝකයට කුමක් සිදුවුවේද යන්න එවකට ආන්දෝලනාත්මක ගැටළුවක් ඇති කිරීමට සමත් විය.
නමුත් ඔල්බර්ස් ගේ විසංවාදය පිළිබදව නිවැරදිම අර්ථ කථනය පැමිණියේ වසර 1901 දී කෙල්වින් ආදිපාද (Lord Kelvin) විසින් ප්‍රකාශයට පත්කරන ලද “On Ether and Gravitational Matter through infinite Space” ලිපිය හරහාය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සම්මත (victorian) ආකෘතියට අනුව අපගේ මන්දාකිණියේ තාරකා වලින්ම පමණක් රාත්‍රී අහස සම්පූර්ණයෙන්ම වැසිය නොහැකි බවයි. මින් ඔබ්බට ගමන් කරන ඔහු වැඩි දුරටත් පවසන්නේ විශ්වය පුරාම විසිරී තිබෙන දෘශ්‍ය තාරකා සියල්ල එක් කලද අපගේ රාත්‍රී අහස සම්පූර්ණයෙන්ම ආවරණය කල නොහැකි බවයි. මීට පෙර ඔලේ රෝමර් (Ole Roemer) විසින් ආලෝකේ වේගය පරිමේය බව සනාථ කොට ගෙන තිබුණි. එමනිසා එම අවස්ථාවන් දෙකම එකිනෙක සම්බන්ධ කල හැකි බව විද්වතුන්ට හැගුණි.
අප අවට අවකාශය දිහා බැලුවිට ඉතා දුරින් පිහිටි තාරකා අතර අදුරු අවකාශය එම තාරකා බිහිවීමට කලින් තිබුණු අදුරු අවකාශයම යයි හදුනාගන්නට පුළුවන්. වර්ථමානය වන විට මෙම අදුරු පසුබිම් සදහා දුරක් ඇස්තමේන්තු ගතකොට තිබේ. මෙහිදී ඇතිවන ප්රශ්නය වන්නේ සුර්යයා වැනි තාරකාවක ආයු කාලයට වඩා මෙම දුර ඉහල අගයක් ගැනීමයි.එසේනම් ඉතිරි තාරකා ආලෝකයට කුමක් සිදු උනේද? යන්නයි. වසර 1916 දී අයින්ස්ටයින් (Einstein) විසින් සාමාන්‍ය සාපේක්ෂතාවාදය සම්පූර්ණ කිරීම හා දුරේක්ෂ නිශ්පාදනය කිරීමේ තාක්ශණයේ දියුනුව නිසා එවකට පිළිගෙන තිබු වික්ටෝරියානු තනි චක්‍රාවාට ආකෘතිය වෙනුවට බහු චක්‍රාවාට ආකෘතිය පිළිගැනිණි. වසර 1922 දී රුසියානු භෞතික විද්‍යාඥවරයකු වන ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මන් (Alexander Fredmaan) විසින් අයින්ස්ටයින් ගේ මතවාද උපයෝගී කර ගෙන විශ්ව ප්රසාරණයට අදාළ සුත්‍ර සදහා විසදුම් සොයාගත් අතර 1929 දී එඩ්වින් හබල් (Edaward Hubble) විසින් විශ්වය ප්‍රසාරණය වන බව තහවුරු කළේය. වසර 1950 දී විශ්වයට නව ආකෘති දෙකක් ඉදිරිපත්විය. ඒවානම් ෆ්‍රීඩ්මන් (Friedmaan) සහ ලෙමෙයිට්රි (Lemaitre) විසින් ඉදිරිපත් කරනු ලැබූ “මහා පිපුරුම් වාදය” (Big Bang Theory)සහ හර්මන් බොන්ඩි, තොමස් ගෝල්ඩ් හා ෆ්‍රෙඩ් හොයිල් (Hermann Bondi ,Thomas Gold and Fred Hoyle) ඉදිරිපත් කෙරුනු “ස්ථාවර තත්ව වාදය” (Steady State Theory) යි.
මෙම මත දෙකම 1933 එඩ්වඩ් මිල්නි (Edward Milne) විසින් ඉදිරිපත් කරන ලද විශ්ව නියායාත්මක මුූලධර්ම දෙකකට මත පදනම් වී ඇත. එනම් විශ්වයේ ඕනෑම තැනක් ගත් කළ එය සමජාතීය (Homogeneous) හා ඕනෑම දිශාවකට සමාකාර ලෙස විහිදී ඇති බවයි (Isotropic). මෙයින් අදහස් වන්නේ විශ්වයේ අනන්ත ස්වභාවයයි.
ඉහත සාධක පදනම් කර කරගෙන හර්මන් බොන්ඩි විසින් ඔල්බර්ස් ගේ විසංවාදය නැවත වරක් අධ්‍යනය කරන ලදී. එහිදී ඔහු එම විසංවාදය මෙලෙස සාරාංශගත කරන ලදී.
ඔල්බර්ස් ගේ විසංවාදය පදනම් වූ ප්‍රධාන උපකල්පන 4 විය.
1. විශ්වය සමජාතීය වීම.
2.සැලකියයුතු විශාල පරාසයක විශ්වය නිරීක්ෂණය කල විට එය කාළය සමග නොවෙනස්ව පැවතීම.
3.විශ්වයේ විශාල ක්‍රමානුකුල චලිතයක් නොමැතිවීම.
4.භෞතික විද්‍යාවේ සියලුම දන්නා නීති අදාළ වීම
වර්තමානය වනවිට එහි දෙවන හා තුන්වන උපකල්පන 2 ම අසත්‍ය බවට තහවුරු වී ඇත. එම නිසා ඔල්බර්ස් පවසන පරිදි රාත්‍රී අහස කිසිදු අයුරකින් ආලෝකමත් නොවිය යුතු බව මෙම උපකල්පන අසත්‍ය බව තහවුරු වීමෙන් පැහැදිලි වේ. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ විශ්වය ප්‍රසාරණය වන බැවින් සමහර තාරකා වලින් නිකුත් වන ආලෝකය රක්ත විස්ථාපනය නිසා දෘශ්‍ය පරාසයෙන් බැහැරට ගමන් කර ඇති බවයි. ඔල්බර්ස් ගේ විසංවාදයට විසඳුමක් මෙලෙස හර්මන් බොන්ඩි විසින් ලබාද දෙන ලදී. කෙසේ වෙතත් මෙම විසඳුම් ස්ථාවර තත්ත්ව විශ්වයකට වඩාත් ගැළපෙන බව පසුව සනාථ කරන ලදී. නමුත් 1965 වසරේදී ආර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් (Arno Penzias and Robert Wilson) විසින් කොස්මික් පසුබිම් විකිරණය සොයාගැනීමත් සමග අප මහා පිපුරුම් වාදයට අනුව ප්‍රසාරණය වෙමින් පවතින විශ්වයක ජීවත් වන බව තහවුරු විය. එම නිසා හර්මන් බොන්ඩි ගේ රක්ත විස්ථාපනය මත පමණක් පදනම්ව ඉදිරිපත් කළ විසඳුම මේ අයුරින් බිඳ වැටිණි.
මහා පිපුරුම් වාදයට අනුව තාරකා වල ආලෝකය විශ්වය පුරා පැතිරී නැත්තේ රක්ත විස්ථාපනය නිසාම නොව, විශ්වය තවමත් තරුණ අවධියේ පවතින නිසාය. තාරකාවක සාමාන්‍ය ආලෝකය වසර බිලියන 10 පැවතියද එය අපගේ රාත්‍රී අහස ආලෝකමත් කිරීමට ප්‍රමාණවත් නොවෙයි. ඒ අනුව ඔල්බර්ස් ගේ විසංවාදය ට වඩාත් සාර්ථකම විසඳුමක් ඉදිරිපත් කර ඇත්තේ 1901 දී කෙල්වින් ආදිපාද (Lord Kelvin) විසිනි.
අද වනවිට ඔල්බර්ස් ගේ විසංවාදය සඳහා විසඳුම දුර තිබෙන වස්තූන්ගෙන් ආලෝකය තවම පෘතුවිය වෙත ලඟා නොවී තිබීම හා රක්තවිස්තාපනය යන කාරනා දෙකෙම එකතුවක් ලෙස විද්‍යාඥයන්
පිලිගනී.
ඔල්බර්ස් ගේ විසංවාදයට අනුව මෙම රූපසටහනෙ දැක්වෙන තරු වල දීප්තියට වඩා දීප්තියකින් රාත්‍රී අහස බැබලිය යුතුය. මෙය ක්ශීරපථ මන්දාකිණියේ හරය කොටසේ ඡායා රූපයකි.