කිරිසයුරේ සුවිසල් සහකරු – මහා මැගලන් වලාව
මහා මැගලන් වලාව (Large Magellanic Cloud – LMC) ක්ෂීරපථයට අයත් වාමන උප චක්රාවාටයකි (Dwarf Satellite Galaxy). එය ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 163,000 (කිලෝ පාසෙක් 49.97) ක් පමණ ඈතින් පිහිටා ඇත. සැජිටේරියස් ගෝලාකාර වාමන උප චක්‍රාවාටය (Sagittarius Dwarf Spheroidal) හා කානිස් මේජර් ඔවර් ඩෙන්සිටි (Canis Major Overdensity) ලෙස හඳුන්වන වාමන උප චක්‍රාවාටයට පසුව ක්ෂීරපථයට ආසන්නවම පිහිටා ඇති චක්‍රාවාටය මහා මැගලන් වලාවයි. ආලෝක වර්ෂ 14,000 (කිලෝ පාසෙක් 4.3) ක විශ්කම්භයක් ඇති මෙම වාමන චක්‍රාවාටයේ සූර්ය ස්කන්ධ බිලියන 10 (10 Billion Solar Masses) පමණ ස්කන්ධයක් ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. එම නිසා එය අප ස්ථානීය චක්‍රාවාට පොකුරෙ (Local Group of Galaxies) සිිව්වන විශාලතම චක්‍රාවාටය ලෙස හඳුනාගෙන ඇත. අපගේ ස්ථානීය චක්‍රාවාට පොකුරේ මහා මැගලන් වලාව ට වඩා වඩා විශාල චක්‍රාවාට වන්නේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය (Andromeda Galaxy – M31), ක්ෂීරපථය චක්‍රාවාටය (Milkyway Galaxy) හා ට්රයැන්ගියුලම් චක්‍රාවාටයයි (Triangulum Galaxy – M33).
මහා මැගලන් වලාව හා කුඩා මැගලන් වලාව (Small Magellanic Cloud – SMC) පිළිබඳව මුලින්ම නිරීක්ෂණ වාර්තා තබන්නේ ක්‍රී. ව. 964 දි පර්සියානු ජාතික තාරකා විද්‍යාඥය අබ්දුල් රෙහෙමාන් අල් සූෆි ෂිරාසී (Abd al-Rahman al-Sufi Shirazi) විසිනි. ඉන්පසුව 1503 – 1504 කාලය තුළ ඇමරිගෝ වෙස්පුචි (Amerigo Vespucci) නම් දේශාඨකයා විසින් රචිත ලිපියකද මෙම වස්තුව පිළිබඳව සඳහන් වී ඇත. කෙසේ නමුත් 1519 ෆර්ඩිනන්ඩ් මැගලන් (Ferdinand Magellan) ඔහුගේ දේශ ගවේෂණ වාර්තාවල මෙම වස්තුව පිළිබඳ තැබූ සටහන් යුරෝපයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමගම ඒවා මැගලන් වලාවන් ලෙස හැඳින්වීමට පටන් ගන්නා ලදී.
නූතන චක්‍රාවාට වර්ගීකරණය යටතේ මහා මැගලන් වලාව සර්පිලාකාර මැගලනික් (Magellanic Spiral) ආකාරයේ චක්‍රාවාටයක් හෙවත් SB(s)m ලෙස වර්ගීකරණය කර ඇත. මෙය වාමන යෂ්ටි සහිත සර්පිලාකාර චක්‍රාවාටයක (Barred Dwarf Spiral Galaxy) හා අක්‍රමවත් හැඩැති චක්‍රාවාටයක (Irregular Galaxy) අතරමැදි අවස්ථාවක් ලෙස සැලකිය හැක. මෙම චක්‍රාවාටයේ අසමමිතික ව පැතිරී ඇති යෂ්ටි සහිත සර්පිල බාහුවක් සඳහා සාක්ෂි දැකිය හැක. ඒ අනුව මහා මැගලන් වලාව අතීතයේදී වාමන යෂ්ටි සහිත සර්පිලාකාර චක්‍රාවාටයක් ව තිබූ බවට විද්‍යාඥයන් සැක පළ කරති. පසුව කුඩා මැගලන් වලාවේ හා ක්ෂීරපථ චක්‍රාවාටයේ ගුරුත්වාකර්ෂණ උදම් බල (Gravitational Tides) නිසා එහි සර්පිල බාහු අද පවතින ආකාරයට විකෘති වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
බොහෝ අක්‍රමවත් හැඩති චක්‍රාවාට මෙන් මහා මැගලන් වලාවේද වායු හා දූවිලි අංශූන් බහුලව පවතී. එම නිසා තාරකා සෑදෙන ස්ථාන බොහෝ ප්‍රමාණයක් මෙහි අන්තර්ගතය. මහා මැගලන් වලාවේ ඇති ටැරැන්චූලා නිහාරිකාව (Tarantula Nebula) අප ස්ථානීය චක්‍රාවාට පොකුරු ඇති වඩාත්ම ක්‍රියාකාරි තාරකා උපදින ස්ථානය ලෙස දැන්ට සොයාගෙන ඇත. තවද මෙහි ගෝලාකාර තරු පොකුරු (Globular Clusters) 60, ග්‍රහලෝක නිහාරිකා (Planetary Nebula) 400, විවෘත තරු පොකුරු (Open Clusters)) 700 මෙන්ම යෝධ සහ සුපිරි යෝධ තාරකා (Giant and Super Giant stars) සිය දහස් ගණනක් පමණ ද අන්තර්ගත බව සොයාගෙන ඇත.
මෑතක දී වාර්තා වූ අපට අසලින්ම පෙනුනු සුපර්නෝවා (Supernova) පිපිරුමක් ද වාර්තා වූයේ මහා මැගලන් වලාව තුළිනි. ඒ SN 1987A යන නමින් හඳුන් හඳුන්වන සුපර්නෝවා පිපිරුමයි. කුඩා මැගලන් වලාව හා මහා මැගලන් වලාව අතර හයිඩ්රිජන් වායුවෙන් සැදුම්ලත් වායු සේතුවක් (Bridge) මෙන්ම චක්‍රාවාට දෙකම ආවරණය වන පරිදි හයිඩ්රිජන් වායු ප්‍රාවරණයක් (Envelop) ද ඇති බවට ද සාක්ෂි හමුවී ඇත. මෙ මගින් පැහැදිලි වන්නේ මහා මැගලන් වලාව සහ කුඩා මැගලන් වලාව අතර පවතින අන්තර් සම්බන්ධතාවයයි. එම වායු සේතුව තුල තාරකා උපදින බවට ද සාධක හමු වී ඇත
.
මෑත කාලයේදී හබල් දුරෙක්ෂය මගින් ලබාගත් දත්ත ආශ්රයයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලින් මහා මැගලන් වලාව වසර මිලියන 250කට වරක් තමන් වටා භ්‍රමණය වන බවත්, එය අභ්යායවකාශයේ ගමන් ගන්නා ප්‍රවේගය අනුව එය ක්ෂීරපථ චක්‍රාවාටයේ උප චක්‍රාවාටයක් නොවිය හැකි බවටත් නවතම මත පළ වී ඇත. අදින් වසර බිලියන 2.4 ක ට පසුව මහා මැගලන් වලාව හා ක්ෂීරපථයට චක්‍රවාටය එකිනෙකට ඝට්ටනය වනු ඇතැයි ද ගණනය කිරීම් වලින් සොයාගෙන ඇත.
ක්‍රාන්තිය (Declination) අංශක -70 පමණ කෝණයකින් පිහිටා ඇති මහා මැගලන් වලාව වඩාත් හොඳින් දිස් වන්නේ දක්ෂිණ අර්ධ ගෝලයටය. කෙසේ නමුත් උතුරු අර්ධගෝලයේ අක්ෂාංශ අංශක 20 දක්වා ඉහලින් පිහිටි රට වලට දක්ෂිණ ක්ෂිතිජය ආසන්නයේ මෙම චක්‍රාවාටය නිරීක්ෂණය කළ හැක. නමුත් ප්‍රායෝගිකව උතුරු අර්ධ ගෝලයේ සිට මෙය නිරීක්ෂණය ඉතා අපහසුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මෙම වාමන චක්‍රාවාටය ඔක්තොබර් සිට මාර්තු යන මාස අතරතුර ආලෝක දූෂණය ඉතා අඩු, වලාකුලින් තොර, චන්ද්‍රයා නොමැති රාත්‍රියක දක්ෂිණ ක්ෂිතිජයේ සිට අංශක 14 පමණ උපරිම උන්නතාංශයකින් දැකගත හැකිය. ඩොරාඩෝ (Dorado) හා මෙන්සා (Mensa) තාරකා රාශි පසුබිම් කරගෙන ඇති මහා මැගලන් වලා පිහිටා ඇති අතර, පූර්ණ චන්ද්‍රයා මෙන් 20 ගුණයක් පමණ විශාලත්වයෙන් මෙය දර්ශනය වේ.
ඡායාරූප:
තාරක පෙරේරා
ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය