වළලු වලට අධිපති සෞරග්‍රහ මණ්ඩලයේ සුන්දරම ග්‍රහලොව – සෙනසුරු
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් දෙවැනි විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු, සාමාන්‍යයෙන් සැලකෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ සුන්දරම ග්‍රහලොව ලෙසය. එයට හේතුව වන්නේ සෙනසුරු වටා පිහිටා ඇති දර්ශනීය වලලු පද්ධතියයි. සෙනසුරු ග්‍රහයා නම් කර ඇත්තේ කෘෂිකර්මයට අධිපති රෝම දෙවියන් වන සැටර්න්ගේ (Saturn) නමින්ය. දුරේක්ෂයක් මගින් පළමු වරට මෙම ග්‍රහලොව නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ගැලීලියෝ ගැලීලිටය (Galileo Galilei). සෙනසුරු ග්‍රහයා සාමාන්‍යයෙන් -0.55 සිට +1.17 දක්වා දීප්ත පරාසයකින් අහසේ දැක ගත හැකිය.
සෙනසුරු ග්‍රහයා පිළිබඳ විශේෂ තොරතුරු
• සූර්ය දූරකය:- 10.1238 AU
• සූර්ය සමීපකය:- 9.0412 AU
• ආවර්ත කාලය:- පෘථිවි වසර 29.4
• කක්ෂයට දක්වන ආනතිය:- අංශක 26.73
• ගුරුත්වාකර්ෂණය:- 1.065g
• වියෝග ප්‍රවේගය:- 35.5ms-1
• භ්‍රමණ කාලය:- පැය 10.7 (පෘථිවි පැය වලින්)
සංයුතිය
අනෙක් ග්‍රහලෝක මෙන් සෙනසුරු මීට වසර බිලියන 4.6 කට පමණ පෙර සූර්ය නිහාරිකාවෙන් සෑදී ඇත. සෙනසුරු බ්‍රහස්පතිට වඩා කුඩා බැවින් එය ඉක්මනින් සිසිල් වන්නට ඇති බව විශ්වාස කෙරේ. සෙනසුරු පෘථිවිය මෙන් 763 ගුණයක් විශාල අතර එහි ස්කන්ධය පෘථිවිය මෙන් 95 ගුණයකි. සමකාසන්නයේදී සෙනසුරුගේ විශ්කම්භය 60,268 km වන අතර ඝනත්වය 0.687 g/cm3 වේ. සෞරග්‍රහ මන්ඩලයේ ඝනත්වය අඩුම ග්‍රහලෝකය වන්නේ සෙනසුරුය. එය ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයකි.
සෙනසුරු යෝධ වායු ග්‍රහලෝකයකි. එය සෑදී ඇත්තේ 96% හයිඩ්රජන්, 3% හීලියම් සහ මීතේන් හා ඇමෝනියා කුඩා ප්‍රමාණ වලින්ය. සෙනසුරු ග්‍රහයා තුළ පාෂාණමය හරයක් තිබිය හැකි යැයි විශ්වාස කරයි. සෙනසුරු මතුපිට සුලඟේ වේගය 1800 km/h පමණ වන අතර එය සෞරග්‍රහමණ්ඩලයේ වැඩිම සුලං වේග ඇති ග්‍රහලෝක අතරින් දෙවැනි වන්නේ නෙප්චූන්ට පමණි.
බ්‍රහස්පති ග්‍රහයා මෙන්, ද්‍රව ලෝහමය හයිඩ්රජන් සෙනසුරුගේ චුම්බක ක්ෂේත්රය මෙහෙයවයි. සෙනසුරුගේ චුම්බක ක්ෂේත්රය බ්‍රහස්පතිට වඩා කුඩාය. කෙසේ වෙතත් සමස්ත ග්‍රහලෝකය සහ එහි වළලු අඩංගු කිරීමට තරම් විශාල චුම්බක ක්ෂේත්රයක් සෙනසුරුට ඇත. සෙනසුරුගේ චුම්බක ක්ෂේත්රය පෘථිවියට වඩා 578 ගුණයක් බලවත් ය.
සෙනසුරුගේ වළලු පද්ධතිය
සෙනසුරු ග්‍රහයාගේ විශේෂිතම ලක්ෂණය වන්නේ එහි ඇති සිත්ගන්නා සුලු වළලු පද්ධතියයි. සෙනසුරුගේ වලලු පද්ධතිය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1659 දී ක්‍රිස්ටියාන් හියුජන්ස්ටය (Christiaan Huygens). එම වළලු පද්ධතිය ප්‍රධාන කොටස් 7 කින් සමන්විත වන අතර එම කොට්ස් A සිට G දක්වා නම් කොට ඇත. වළලු පද්ධතිය සෙනසුරුගේ සමකයේ සිට 6630 km සිට 120,700 km දක්වා පිටතට විහිදී ඇත. අයිස්, තෝලින් සහ කාබන් වලින් සමන්විත මෙම වළලු පද්ධතියේ ඝනකම සාමාන්‍ය වශයෙන් මීටර් 20 පමණ වේ. මෙම වලලු පද්ධතිය දුරේක්ෂයෙන් නිරීක්ෂණය කරන විට, එහි අඳුරු පැහැති අවකාශ දෙකක් පැහැදිලිවම බලා ගත් හැක. A සහ B වළලු අතර පිහිටා ඇති විශාල අවකාශය කැසිනි අවකාශය (Cassini Division) ලෙසද, A සහ F වළලු අතර පිහිටා ඇති අවකාශය එන්කේ අවකාශය (Enke Division) ලෙසද හඳුන්වයි.
මෙම වලළලු නිර්මාණය වූ ආකාරය පිළිබඳව මත කිහිපයක්ම ඇති අතර වඩාත්ම පිළිගන්නා මතය වන්නේ ෙසෙනසුරුගේ චන්ද්‍රයෙකු විනාශ වී එය නිර්මාණය වූ බවයි. තවද සමහර වළලු වල පැවැත්මට දැනට පවතින චන්ද්‍රයන්ගේ බලපෑම් ද ඇති බව සොයා ගෙන ඇත
සෙනසුරුගේ වළලු පද්ධතිය වසර මිලියන 10 ත් 100 ත් අතර පැරණි බව දැන්ට සොයාගෙන ඇත. එය සාපේක්ෂව ඉතා අඩු කාලයකි. එනම් එම් වලළලු නිර්මාණය වී ඇත්තේ පෘථිවියේ ඩයිනසෝරයන් ජීවත්වෙන කාලයේදීයි.
සෙනසුරු චන්ද්‍රයන්
මේ වන විට සිදු සිදුකර ඇති සොයාගැනීම් වලට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිපුරම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය වන්නේ සෙනසුරු ග්‍රහලෝකය යි. සෙනසුරුට චන්ද්‍රයන් 82 ක් ඇති අතර ඉන් චන්ද්‍රයන් 53 ක් නම් කර ඇත. එම උප ග්‍රහයන් අතරින් විශාලතම උප ග්‍රහයා වන්නේ ටයිටන් (Titan) ය.
ටයිටන් සෙනසුරු සිට සැතපුම් 759,000 ක් (කිලෝමීටර් මිලියන 1.2 ක්) දුරින් පිහිටා ඇත. ටයිටන් බුධ ග්‍රහයාට වඩා විශාල වන අතර එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම චන්ද්‍රයා වේ. ටයිටන්වල අරය කිලෝමීටර් 2,575 වන අතර එය පෘථිවියේ සඳට වඩා සියයට 50 ක් පමණ විශාල වේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ 200 කට ආසන්න චන්ද්‍රයන් සංඛ්‍යාව අතර සැලකිය යුතු වායුගෝලයක් ඇති එකම උප ග්‍රහයා ටයිටන් ය. ටයිටන්ගේ වායුගෝලය සෑදී ඇත්තේ 98% නයිට්රජන් වලින් වන අතර එහි පීඩනය පෘථිවියට වඩා සියයට 50 කින් ඉහළ ය. ටයිටන්වල ඊතේන්,මීතේන් වැනි ද්‍රව හයිඩ්‍රොකාබන වලින් සෑදුනු ගංගා, විල් සහ මුහුදු සොයාගෙන ඇති අතර ද්‍රව හයිඩ්‍රොකාබන වලාකුළු සහ වැසි ද එහි ඇතිවේ.
සෙනසුරුගෙ එන්සෙලඩස් (Enceladus) උපග්‍රහයා ද විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට යොමු යොමු වූ උප ග්‍රහයෙකි. මෙම උපග්‍රහයාගේ ගයිසර් (Geysers) වැනි ක්‍රියා ක්රියාකාරීත්වයක් ඇති බව නිරීක්ෂණය කර ඇති අතර ඒවා ලවණ මිශ්‍ර ජලයෙන් සමන්විත බව පසුව සොයා ගන්නා ලදී. ඒ අය අනුව එම උපග්‍රහයා ගේ අයිස් වලින් සෑදුනු මතුපිටට යටින් ලවණ සහිත මුහුදු ඇති බව විද්‍යාඥයන් අනුමාන කරයි.
සෙනසුරුගෙ විශාලතම උප ග්‍රහයන් හත්දෙනා පිළිවෙලින් ටයිටන් (Titan), රියා (Rhea), අයැපිටස් (Iapetus), ඩියොන් (Dione), ටෙතිස් (Tethys), එන්සෙලඩස් (Enceladus) සහ මිමස් (Mimas) වේ.
සෙනසුරු වෙත යැවූ මෙහෙයුම්
මේ වන විට සෙනසුරු වෙත අභ්‍යවකාශ යානා හතරක් පියාසර කර ඇත. 1979 දී, Pioneer 11 සෙනසුරු ග්‍රහයා වෙත පියාසර කර අධ්‍යයනය කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්විය. 1980 දී වොයේජර් 1 සහ 1981 දී වොයේජර් 2 සෙනසුරු ග්‍රහයා අසලින් පියාසර කළේය. මෙම අභ්‍යවකාශ යානා සෙනසුරු ග්‍රහයාගේ බොහෝ චන්ද්‍රයන් පිළිබඳව ද වළලු පද්ධතිය පිළිබඳව ද අධ්‍යයනය කළේය. 2004 ජූලි මාසයේදී කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත ළඟා වී එය වටා කක්ශගත විය. තව ද ඒ සමඟ ගමන් ගත් Huygens යානයද 2005 දී ටයිටන් උපග්‍රහයා මතට සාර්ථකව ගොඩ බස්වන ලදී. පෘථිවියේ චන්ද්‍රයා හැරුණු කොට යානයක් ගොඩබස්වා ඇති සෞරග්‍රහමණ්ඩලයේ එකම උපග්‍රහයා ටයිටන්ය. 2017 සැප්තැම්බර් 15 වන දින, කැසිනි 13 වසරක මෙහෙයුම කින් පසුව, සැලසුම් සහගතව සෙනසුරුගේ වායුගෝලයට ඇතුලත් කර විනාශ කර දමන ලදී.
ඔබත් රාත්‍රී අහස නිරීක්ෂණයට කැමති තාරකා විද්‍යා ලෝලියෙකු නම් මේ දිනවල අලුයම් කාලයේ මකර තාරකා රාශිය පසුබිම් කරගෙන සෙනසුරුගේ සුන්දරත්වය විඳගත හැකිය.
මූලාශ්‍ර :
http://www.wikipedia.com
https://www.nasa.gov/