විශ්ව න්‍යාය විද්‍යාව – #2 -විශ්වයේ මානයන්(I)
කලින් සතියෙ නැවතුන තැනින්ම පටන්ගමු. මොකද්ද මේ මන්දාකිණියක් (Galaxy) කියන්නෙ. අපේ සූර්යයා වගෙ තවත් තාරකා මිලියන ගණනක්, ග්‍රහලෝක, පාෂාණ ග්රහක කොටස් මිලියන බිලියන ගණනක්, ඒ අතරම තියෙන අභ්‍යවකාශයේ දූවිලි සහ වායූ වලාවනුත් එකතුවෙච්ච පදාර්ථ සමූහයකට තමා මන්දාකිණියක් කියල කියන්නෙ. අපි ජීවත් වෙන අපේ පෘථිවිය තියන අපේ සූර්යයා ඇතුලු මුලු සෞරග්‍රහ මන්ඩලයම පිහිටලා තියෙන්නෙත් ක්ෂීරපථය, එහෙමත් නැත්නම් කිරිසයුර (Milkyway Galaxy) කියලා තවත් එක මන්දාකිණියක. මේක හරියටම දැකබලාගන්න ඕනෙද? නගරයෙන් ටිකක් ඈත, ආලෝක දූෂණය අඩු පිටිසර පලාතකට යන්න ලැබුනොත්, හොදට අහස පැහැදිලි රාත්‍රියක එලියට බැහැලා තරු සිතියමක් හරි ඔබගේ ජංගම දුරකථනයෙන් හරි “ධනු” තාරකා රාශිය සොයාගන්න. ඒ අවට හොදට නිරීක්ෂණය කරන්න. ඔබට දැකගන්න පුලුවන් වේවි අනික් වලාකුළු වගේ හුළගට ගමන් කරන්නෙ නැති දුඹුරු පාටට හුරු වලාකුලක් වගේ දෙයක්. මේ ඔබට පෙනෙන්නෙ අපි ජීවත් වෙන මන්දාකිණියේ මැද කොටස කිවුවොත් ඔබ විශ්වාස කරනවද? තවම හරියටම විශ්වාස නෑ වගේනම් කෝකටත් අපේ සංගමයේ ම අභ්‍යවකාශ ඡායාරූපශිල්පියෙකුගෙ කැමරාවකින් ගත්ත මේ ක්ෂීරපථයේ ඡායාරූපයක් පහලින් අමුනන්නම්.
17 වන ශතවර්ෂයේ මැදක ඉදලා මේ වර්තමානය වෙනකන්ම වගේ විද්‍යාඥයින් මේ අපි ජීවත් වෙන මන්දාකිණිය ගැන තොරතුරු හොයන්න මහන්සි උනා. ඒවගේම ගොඩක් දේවල් සොයාගත්තා. මේ ක්ෂීරපථය මන්දාකිණියේ පළල ගත්තොත් ආසන්න වශයෙන් ආලෝකවර්ශ ලක්ශයක් විතර වෙනවා (105,700 Light years). මේක කොච්චර විශාල අංකයක් ද කියලා තේරුම් ගන්න නම් මුලින්ම ආලෝක වර්ශයක් කියන්නෙ මොකද්ද කියලා දැනගෙන ඉන්න වෙනවා. ආලෝකවර්ශ කියන්නෙ අභ්‍යවකාශයේ දුර මනින ඒකකයක්. සරලවම කිවුවොත් ආලෝකය වසරක් ඇතුලත යන දුරට තමා ආලෝකවර්ශයක් කියල කියන්නෙ (ආලෝකය එක තප්පරයක් තුල විතිරක් කිලෝමීටර ලක්ෂ 3ක් විතර යනවා !!) ඒතකොට අපි දන්න ගනං වලිං ආලෝකවර්ශයක දුර හෙවුවොත් 300,000×60×60×24×365 කියන ගාන සුලුකරාම ආසන්න වශයෙන් ආලෝකවර්ශ 1ක දුර එනවා කිලෝමීටර වලින්. මහ විශාල ගනනක් නේද ? ඒත් මේ එක ආලෝකවර්ශයක දුර නේ, මේ වගේ ඒවා ලක්ශයක් විතර පළලයි ලු අපේ මේ ක්ෂීරපථය කියන මන්දාකිණිය! හරියටම මේ ගනන අපි ගත්තොත් ක්ෂීරපථයේ පළල කිලෝමීටර 1×10^18 ක් වෙනවා. (ඒකියන්නෙ එකයි බින්දු 18ක්, 1,000,000,000,000,000,000km) මේ විශාලත්වය හිතාගන්න පුලුවන්ද? ටිකක් අමාරුයි නේද? ඒ විතරක් නෙමේ අපි අර රාත්‍රී අහසේ ධනු ලග්නය ආශ්‍රිතව දැකගත්ත ක්ෂීරපථයේ මැද හරියේ ඉදලා අපි ජීවත් වෙන පෘථිවිය හරියට දුරත් ආලෝකවර්ශ 28,000ක් වෙනවා. අපි ඉන්න මන්දාකිණිය ඒ තරම්ම විශාලයි. මේ මන්දාකිණියේ, අපේ සූර්යයා වගේ තවත් ලොකු කුඩා තරුම විතරක් බිලියන 300ක් පමන තියෙනවා කියලා ගනන් බලලා තියනවා. මේ වටේ තියන ග්‍රහලෝක, පාෂාන වගේ ඒවා ගනන් කරන්න ගියොත් අද මේ කතාව ඉවර වෙන්නෙ නෑ. ඒ නිසා මේක මෙතනිං නවත්තලා අපි ඉස්සරහට යමු. මේ පරිමාව කොච්චරනං විශාලද, මේ ස්කන්ධය කොච්චරනං විශාලද කියන එක පොඩ්ඩක් තේරුනා නම් ඇති.
ක්ෂීරපථයේ දිගපලල ගැන කතාවෙන් පස්සෙ අපි එන්නේ මේ ක්ශීරපථය වගේ තවත් මන්දාකිණි පිහිටලා තියන විශ්වය කොච්චර විශාලද කියලා පොඩි හරි අවබෝධයක් ලබාගන්න උත්සාහ කරන්න. ඒකට අපිට පොඩි වෙනම කතාවක් පටන්ගන්න වෙනවා. 1990 වසරේ දි විද්‍යාඥයින් එකතුවෙලා අපේ පෘථිවියෙන් එපිට අභ්‍යවකාශයට යවනවා “හබල්” කියලා දුරේක්ශයක්. (Hubble Space Telescope) මේ දුරේක්ශය පාවිච්චි කරලා විද්‍යාඥයින් ලබාගන්නවා අහසෙ අදුරුවටම පෙනෙන්නට තියන තැනක ඡායාරූපයක්. “මහ වලසා” කියන තාරකා රාශිය ආසන්නයේ තිබෙන තරු අඩු අදුරු ප්‍රදේශයකට දුරේක්ෂය යොමුකරලා දින දහයක් පුරාවට පින්තූර අරගෙන ඒ පින්තූර එකට එකතුකරලා තමා මේ ඡායාරූපය නිර්මාණය කරන්නේ 1995 වර්ශයේදී. මේ චායාරූපයට යොදාගත්ත අහසේ වර්ගඵලය කොච්චර පොඩිද කියනවනං ඒ ඉඩ බිත්තියේ ඇදපු පෑන් තිතක් වගේ පොඩි පමාණයක්. ඒ ඉඩ අපිට පේන මුලු අවකාශයේ වට ප්‍රමාණයෙන් මිලියන 24න් පංගුවක් (1 in 24th million). හැබැයි මේ ඡායාරූපයේ දකින්නට තිබුනු දෙයින් විද්‍යාඥයින් මහ පුදුමයට පත්වෙනවා. මේ රූපය හැදින්වුණු නම තම “Hubble Deep Field Image”. ඔයාලට බලාගන්න පහලින් මේ රූපයත් අමුනන්නම්. මෙ පින්තූරයේ තියෙන්නෙ එක එක ප්‍රමානවලින් කුඩා ආලෝක අංශු. විශ්වාස කරන්න පුලුවන්ද මේ හැම තිතක්ම, අපිට දුර ඈත අභ්‍යවකාශයේ පිහිටලා තියන ක්ෂීරපථය වගේ තවත් මන්දාකිණි කියලා !!??!!. ගනනය කිරීම් වලට අනුව මේ රූපයේ විතරක් මන්දාකිණි තියනවා එක 3000කට වඩා වැඩි ප්‍රමානයක් !. (ඒ එකක් ක්ෂීරපථයේ දිගපලල නම් !). ඇයි ඒ විතරක්ද, අපි කිවුවා මේ තියෙන්නෙ අපිට පේන මුලු අවකාශයෙන් මිලියන විසිහතරෙන් පංගුවක් කියලා. එතකොට මේ වගේ තැන් තව මුලියන විසිහතරක් !? ඒ හැමතැනකම අඩු නොඅඩු වශයෙන් මන්දාකිණි 3000ක් ?! එතකොට අපිට නොපෙනෙන තව දුරින් පිහිටි මන්දාකිණි ?!. මේක මහ හිතාගන්න අමාරු තරම් ලොකු, අපේ මනසට ගෝචර නැති, මහා විශාල අවකාශයක් කියන එක ඔබට තේරෙනවාද ?
මේ දුරට හරි ඔබ ලිපිය කියවාගෙන ආවානම් ඔබට සුලු හරි අවබෝධයක් ලැබෙන්න ඇති මේ විශ්වය කොච්චර විශාලද අසංඛ්‍ය ද, අප්‍රමාණ ද කියන එක ගැන. නමුත් අවවාදයක් විදිහට කියන්න ඕනි මේ කතාව ඔබට පැහැදිලි කලේ මේක මීටත් එහාට හොයන්න ගිහින් මනස අවුල් කරගන්න නම් නෙමේ. එහෙම කරන්න යන්නත් එපා. මේ ලිපියේ අරමුණ මේ ප්‍රමාණය නොගැනිය හැකි තරම් විශාලයි කියන දේ ඔබට තේරුම් කිරීම පමණයි. ඒ නැතුව එය සෙවීමට පෙලඹවීම නෙමෙයි.
අපි අදට මෙතනින් නවත්තමු එහෙනම් මේ කතාබහ. ලබනසතියේ අපි මේ විශ්වයේ වයස කොච්චරද කියලා තේරුම් ගන්න පොඩි උත්සාහයක් දරමු. ඒකට පොඩි භෞතික විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක සංකල්ප ටිකකුත් කියා දෙන්න වෙන නිසා ඒක වෙනමම කතා කරන එක හොදයි කියලා මට හිතෙනවා. එහෙමනම් අදට එච්චරයි. ආයෙමත් කියනවා! මේවා ගැන ඕනෑවට වඩා හිතන්න නම් යන්න එපා! මම වගකීමක් ගන්නෙ නෑ! තේරුම් අරගෙන බැහැර කරන්න. ගිහිං එන්නම්.