සිනමාව දුටු, නොදුටු විශ්වය
විශ්වීය සංකල්ප පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපට රාශියක් තිබුණ ද මේ සියල්ල අතරින් INTERSTELLAR චිත්‍රපටයට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. 2014 වසරේ තිරගත වූ මෙය විද්‍යා ප්‍රබන්ධ ආශ්රිත චිත්‍රපට නිර්මාණයේ ප්‍රවීණයකු වූ ක්‍රිස්ටෝපර් නොලන් (Christoper Nolan) අධ්‍යක්ෂකවරයාගේ විශිෂ්ට නිමවුමකි.
මෙම චිත්‍රපටය සුවිශේෂී වන්නේ මෙහි අඩංගු බහුතරයක් සංසිද්ධීන් න්‍යායාත්මක භෞතික විද්‍යාත්මක නියමයන් යොදා ගනිමින් සිදුකරන ලද නිර්මාණාත්මක සිදුවීම් වීම ය. මෙම සංසිද්ධීන් වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ අපට ස්ථිරවම යමක් පැවසිය නොහැක. එයට හේතුව නම් මෙම සිද්ධීන් න්‍යායාත්මක නියමයන්ට අනුකූලව ගත්කළ සිදුවිය යුතුව ද තවම එවන් සිදුවීම් සාධක සහිතව ඔප්පු කල නොහැකි වීමය. විශ්වය නම් මහ සයුරේ ඉතා කුඩා වැලි කැටයක් බදු දැනුමක් සහිත ව සිටින අපට, මෙවැනි සිදුවීම් පුරෝකතනය කිරීම සාධාරණ නොවිය හැකි නමුත් අප සතුව ඇති දැනුමෙන් පුරෝකතන කිරීම හැර අපට වෙන විකල්පයක් ද නොමැත.
මෙහි සදහන් බොහෝ න්‍යායාත්මක භෞතික විද්‍යාත්මක සිදුවීම් සඳහා මග පෙන්වූයේ, 2017 වසරේදී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලද කැලිෆෝර්නියා තාක්ෂණික ආයතනයේ (California Institute of Technology) හෙවත් කැල්ටෙක් (Caltech) ආයතනයේ විශ්‍රාමික මහාචාර්ය කිප් ත්‍රොන් (Kip Thorne) ය.
මෙහිදී අධ්‍යක්ෂකවරයාට එක් අවස්ථාවකදී ආලෝකයේ වේගයෙන් ගමන් කරන සිද්ධියක් ඇතුලත් කිරීමට අවශ්‍ය වී තිබුනත් මහාචාර්යවරයාගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ එය ප්‍රයෝගිකව සිදු විය නොහැකි බව වටහා ගත් ඔහු ඉවත් කර ගන්නා ලදී. ආලෝකයේ වේගය යනු තත්පරයකට ආලෝකය ගමන් ගන්නා දුරයි. එහි අගය තත්පරයකට මීටර් 299 792 458 (ආසන්න වශයෙන් 300 000 000) අගයක් ගනී. මේ අනුව ආලෝක වර්ෂ බිලියනවක් දුරින් ඇති වස්තුවක් වෙතට අප ආලෝකය වේගෙන් ගිය ද ඒ වෙත ළගා වීමට වසර බිලියනයක් ගත වේ. (මිනිසා නිපද වූ අභ්‍යවකාශ යානාව උපරිම වේගය තත්පරයකට මීටර් 68600 අගයක් ගනී) එසේ නම් අප එවැනි දුරක් ගමන් කිරීමට ගතවන කාල සිතා ගත නොහැක.
එසේම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට (Theory of Relativity) අනුව වස්තුවකට තිබිය හැකි උපරිම වේගය ආලෝකයේ වේගය යි. වස්තුවක් වඩාත් වේගෙන් ගමන් කිරීමට නම් එහි ස්කන්ධය වැඩිවීමක් ද පරිමාව අඩුවීමක් ද සිදු විය යුතු ය. එම නිසා ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ නම් සෛද්ධාන්තිකව බලන කල ස්කන්ධය අනන්තයක් ද පරිමාව ශුන්‍ය අගයක් ද විය යුතුය. අපට සතු දැනුමට අනුව එය ප්‍රායෝගිකව විය නොහැක. එම නිසා අප දැනට සිතනුයේ ආලෝක වේගෙන් ගමන් කළ හැකි වස්තු තිබිය නොහැකි බව ය. මේ නිසා විශ්වය ගමනාගමනය සැලකීමේදී මෙම චිත්‍රපටයේ දී ආලෝකය වේගයෙන් ගමන් කිරීම යන සංකල්පය බැහැර කළ විට ඔවුන් යොදා ගන්නේ Worm Hole යන සංකල්පයයි.
Worm Hole යනු විශ්වයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට සෑදුණු කෙටි මාර්ගයක් වැනි ය. මෙවැන්නක් සැබැවින් ම පවතින්නේ නම් අපට විශ්වය බොහෝ දුර ඉතා කෙටි කාලයකින් ගමන් කළ හැකි ය. වර්ෂ 1935 දී ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) හා නෙතන් රොසෙන් (Nathan Rosen) නම් භෞතික විද්‍යාඥයන් දෙපළ විසින් සාමාන්‍ය සාපේක්ෂතා වාදය ඇසුරෙන් මෙම සංකල්පය (Einstein- Rosen Bridge Theory) ඉදිරිපත් කරන ලදී. මෙය සරලව ගතහොත් අවකාශ-කාලයෙහි (space-time) යම් ස්ථාන දෙයක් අතර කෙටි පාලමක් පැවතිය හැකි බව ය.
අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව විශ්වය අවකාශය හා කාලය යන ද්විත්වයන් එකිනෙක මූලික වශයෙන්ම සම්බන්ධිත ය. මේ පිළිබඳව අපට ඉදිරි ලිපියකින් වැඩිදුර කතා කළ හැක. එම නිසා සරලව ගත හොත් මෙවැනි පාලමක් හරහා ගමන් කිරීමේ දී අවකාශිය ස්ථානය මෙන් ම කාලයද වෙනස් විය හැකි යැයි භෞතික විද්‍යාඥයෝ විවිධ මත දරති.
නමුත් මෙම චිත්‍රපටියේ යොදා ගෙන ඇත්තේ අවකාශය ස්ථානය වෙනස් වීම පමණි. මෙම චිත්‍රපටියේ ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණය යොදා ගනිමින් මනාව මෙම සංසිද්ධිය නිර්මාණය කොට ඇත. ඔවුන් පවසන පරිදි මෙය සැකසීමට මහාචාර්ය වරයා විසින් ගණනය ලද Worm Hole පිළිබඳ සෛද්ධාන්තික සමීකරණ ඇසුරෙන් මෙය ව්‍යුහගත කර ඇත. මෙය කොතරම් සංකීර්ණ කාර්යයක් වූවාද යත් ඔවුන් පවසන පරිදි මේ සඳහා පරිගණක රාශියක් අවශ්‍ය වූ අතර මේ සඳහාම සුවිශේෂි මෘදුකාංග (Rendering Softwares) පවා නිපදවීමට සිදු වූ බව පැවසේ.
මෙය කොතරම් සාර්ථක දැයි සැසදීමට නම් කවදා හෝ දවසක Worm Hole සොයාගන්නා තෙක් අපට සිටීමට සිදු වේ. සමහර විටෙක අපට කිසිදා මේ වැන්නක් නිරීක්ෂණය විය නොහැක. එයට හේතුව නම් එවැන්නක් සැබැවින්ම පැවතීමේ අවිනිශ්චිතභාවයි. විශ්ව න්‍යාය විද්‍යාවේ (Cosmology) ස්වභාවය මෙයයි.
මීළඟට ඇති වැදගත්ම සංසිද්ධිය නම්, කළු කුහර (Black Hole) යි. සරලවම ගතහොත් තමන්ගේ ගුරුත්වයට හසුවන ඕනෑම දෙයක්ක් ගිලගන්නා වස්තුවකි කලුකුහරය. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව කළු කුහරයක් යනු සරලව ගතහොත් අවකාශ-කාල වක්‍රතාවය (space-time curvature) අනන්ත වූ අවස්ථාවකි. අයින්ස්ටයින්ට අනුව අවකාශ-කාලය වෙනස් කිරීමේ හැකියාවක් ගුරුත්වයට ඇත. වක්‍රතාවයක් ඇති වන්නේ ස්කන්ධයකට අනුලෝම සමානුපාතික වය. එනම් ස්කන්ධය වැඩිවත්ම ඇතිවන ගුරුත්වය ද වැඩි වේ.
මෙය තේරුම් ගැනීමට අවකාශ-කාල වක්‍රය අපට මෙට්ටයක මතු පිට ලෙස ගත හැකිය.
එවිට යම් කිසි බරක් මෙට්ටය මත තැබූ විට අපට දිස්වන්නේ මෙට්ටය මතුපිට සිදුවන ගිලා බැස්ම කි. අවකාශ-කාල වක්‍රයේ හැසිරීමද එලෙස මය. කළු කුහර වැනි අධික ස්කන්ධයක් සහිත වස්තුවක ගුරුත්වය ඉතා අධික ය. එම නිසා එය අවකාශ-කාලය දැඩි විකෘති තාවයකට පත් කරයි. එනිසා ආලෝකයට පවා කළු කුහරයකින් ගැලවී යාමට නොහැක.
මෙයද චිත්‍රපටය තුළ විදහා දැක්වීමට මහාචාර්යවරයාගේ සෛද්ධාන්තික සමීකරණ ඇසුරෙන් ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය යොදාගෙන මෙය ව්‍යුහගත කර ලදී. මේ සඳහා ද පෙර පරිදි දැඩි ශ්‍රමයක් (පරිගණක තිහක ධාරිතාවක්) දැරීමට සිදු වූ බව පැවසේ. මෙහි වැදගත්ම සිදුවීම වන්නේ 2019 වසරේ දී ඡායාරූගත කිරීමට හැකි වූ ප්‍රථම කලු කුහරය වන M87 මන්දාකිණිය මධ්‍යයේ ඇති කලු කුහරයේ ඡායාරූපයට මෙම චිත්‍රපටියේ යොදාගත් ව්‍යුහගත රූපරාමු යම් සෙයින් සමාන වීමයි. එය එක්තරා අතකින් මහාචාර්යවරයා ගේ හා අධ්‍යක්ෂකවරයාගේ සුසංයෝගයේ අනගි ප්රතිඵලයකි.
මූලාශ්‍ර :
https://i4is.org/einstein-rosen-bridge
https://blogs.scientificamerican.com
https://www.space.com