ජිනීවා විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ හා විද්වත් කණ්ඩායමක් විසින් පසුගියදා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් අපගේ සූර්යයාට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටූරී වල පවතින බවට අනාවරණයක් ලොවට සිදුකළේය. මෙම ග්‍රහලෝකය පෘතුවිය මෙන් ස්කන්ධය 1.17 ගුණයක් පමණ වන අතර විශේෂත්වය වන්නේ ග්‍රහලෝකය එම තාරකාවේ ජීවයක් පැවතිය හැකි කලාපය තුල ස්ථානගත වී පැවතීමය. චිලී රාජ්‍යයේ ඉතා විශාල දුරේක්ෂයක ස්ථාපිත කර ඇති ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත වර්ණාවලීක්ෂයක් වන ESPRESSO(Echelle SPectrograph for Rockey Exoplanets and Stable Spectroscopic Observations ) නම් වර්ණාවලීක්ෂයෙන් මෙම නිරීක්ෂණය සිදු කොට ඇත. මෙම උපකරණයේ නිරවද්‍යතාවය ඉහළ වීම හා අරීය ප්‍රවේග මිනුම්වල මිනුම් ප්‍රගතිය නිසා මෙම නිරීක්ෂණය පහසුවෙන් හදුනාගැනීමට ඔවුන්ට හැකිවූ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ග්‍රහලෝකය මීට වසර 4 කට පෙර සොයාගැනුනේ HARPS(High Accuracy Radial velocity Planet Searcher) නම් වර්ණාවලික්ෂය භාවිතයෙන් වන අතර එය ප්‍රොක්සිමා බී ලෙස නම් කිරීමට එම පර්යේෂණ කණ්ඩායම පියවරගන්නා ලදී. එම ග්‍රහලෝකය තාරකාවේ වේගයට ඉතා අවම බලපෑමක් ඇති කරන බැවින් නිශ්චිත වශයෙන්ම එම ස්ථානයේ එවැන්නක් ඇති බවට ඔවුන් තම නිරීක්ෂණ මගින් තහවුරු කලෝය.තවද එම ග්‍රහලෝකයේ පරිබ්‍රමණ කාලය දින 11.2 බවද පෙන්වා දුන්නේය.
මෙම නිරීක්ෂණය පිළිබද කතා කරන විට ඔබට එන ප්‍රධාන ගැටළු වන්නේ මොකක්ද මේ ප්රොක්සිම සේන්ටුරී කියන්නේ ? ඒකෙ වැදගත්කම මොකක්ද? කියන එක.මම මෙම තාරකාව පිළිබදව කුඩා හැදින්වීමක් කරන්නම්.ඇල්ෆා සේන්ටුරී පද්ධතියේ පවතින සූර්යයාට ආසන්නතම කුඩා තාරකාවක් ලෙස අපට මෙම තාරකාව හදුන්වා දෙන්න පුළුවන්.සාමාන්යෙන් මෙම තාරකාවේ දෘශ්‍ය විශාලනය 5.5ද,ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් 0.12 හා විශාලත්වය සූර්යයාගේ අරය මෙන් 0.15 ගුණයකින් යුක්තය.දැනට විද්වතුන් නක්ෂත්ර ඒකක 0.05 හා 0.1 අතර කළාපය මෙහි ජීවය පැවතිය හැකි කළාපය ලෙස හදුනාගෙන ඇත.මෙම තාරකාව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 4.2 පමණ දුරින් පිහිටන අතර මෙහි දීප්තතාවය සූර්යයාගේ දීප්තියට වඩා 1000 ගුණයකින් පමණ අවම ප්‍රමාණයක් ගනී.මෙම තාරකාව වඩාත් ප්‍රසිද්ධ වන්නේ එම තාරකාවේ සිදුවන නිරන්තර ක්‍රියාකාරීත්වය පිළිබිබූ කරන ක්‍රියාකාරකම් නිසාය.සාමාන්යෙන් මෙහි ගිනිසිළු ක්‍රියාකාරිත්වය වැඩි අතර ඒවායේ ප්රබලත්වයද සාමාන්යෙන් ඉහළ අගයක් ගනී.මෙම ගිනිසිළුවල ක්‍රියාකාරිත්වය නිසා එහි දීප්තිය 10%-50% අතර අගයකින් ඉහල යයි.සාමාන්යෙන් මෙම තාරකාවේ භ්‍රමණ කාලය දින 83 ක් පමණ වෙයි.
මීළගට අපි සලක බලමු කෙසේද ප්‍රොක්සිමා සේන්ටුරී බී හදුනාගත්තේ සහ එහි පැවැත්ම පිළිබදව.සාමාන්යෙන් මෙම ග්‍රහලෝකය හදුනාගැනීමට HARPS වර්ණවලික්ෂයට දින 147 ක රාත්‍රීන් යොදාගෙන අරීය ප්රවේගයන් මිනුම් කිරීමට සිදුවූ අතර UVES වර්ණවලික්ෂය මගින් රාත්‍රීන් 77 ක් එය නිරීක්ෂණය කිරීමට සිදුවිය. වසර 17 කට පෙර සිට HARPS වෙනත් ග්‍රහලෝක 100 කට අදික සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර අද වන විට ESPRESSO වර්ණවලික්ෂය මෙම කර්තව්‍ය වඩාත් නිරවද්‍ය ආකාරයෙන් සිදු කරමින් පවතී.මෙම ග්‍රහලෝකය එහි තාරකාවට පෘතුවිය හා සූර්යයාගේ දුරට වඩා 1/20 ගුණයක් තරම් ආසන්නයෙන් පිහිටා පවතින බැවින් එහි මතුපිට ද්‍රව ජලය පවතින ආකාරයට උෂ්ණත්වයක් පවතින නිසා ඇතැම් විට එහි ජීවයක් පැවතිය හැකි බවට එම පර්යේෂක කණ්ඩායම අනාවැකි පළකරයි. ප්‍රොක්සිමා සේන්ටුරී තාරකාව රතු වාමන තාරකාවක් වන නිසා එමගින් නිකුත්වන x කිරණ වල ප්‍රබලත්වය පෘතුවියට සූර්යයාගෙන් ලැබෙන x කිරණ වලට වඩා 400 ගුණයකින් වැඩිය. වර්තමානයේ මෙම පර්යේෂක කණ්ඩායම අනාගතේ නිපදවීමට බලාපොරොත්තුවන RISTRETTO වර්ණවලික්ෂය සුදානමින් කරමින් පවතින අතර එමගින් මෙම හදුනාගත් ග්‍රහලෝකයට වායුගෝලයක් පවතින්නේද?එම වායුගෝලයක් පවතින්නේ නම් එහි අඩංගු මුලද්‍රව්‍ය මගින් ජීවය ඇතිවේද? සහ එම ජීවයේ පැවැත්ම කෙසේවන්නේද? යන්න සෙවීමට උත්සුකව කටයුතු කරමින් ඇත. තවද වර්තමානයේ ඔවුන්ට නවතම අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.එනම් ESPRESSO මගින් ලැබුණු දෙවන සංඥාව නිසාය.මෙම සංඥාව මගින් එම පද්ධතිය තුල තවත් ග්‍රහලෝකයක් පවතින බවට සාධක ඉස්මතු කරයි. මෙය සත්‍යක් වුවහොත් මෙය මෙතරම් කාලයකට අරීය ප්‍රවේගය යොදාගෙන නිරීක්ෂණය කරනු ලැබූ කුඩාම ග්‍රහලෝකය වේ.