මොකක්ද මේ Lyrids උල්කාපාත වර්ෂාව?
උල්කාපාත වර්ෂාවක් යනු උල්කාපාත විශාල ප්‍රමාණයක් අහසේ එකම ප්‍රදේශයකින්(Radiant) හට ගන්නා ලෙස පෙනෙන සංසිද්ධියකි. මෙලෙස උල්කාපාත වර්ෂා ඇති වන්නේ ධූමකේතුවක් හෝ ග්රහකයක් තම ගමන් මගේ ඉතිරි කර යන පාශාණ කැබලි (meteor stream) පෘථිවි ගුරුත්වයට නතුවීමෙනුයි. මේ දිනවල පවතින Lyrids උල්කාපාත වර්ෂාවට හේතුව ලෙස සැලකෙන්නේ 1861 දී A.E. තැචර් සොයාගත් තැචර් ධූමකේතුවයි (Comet Thatcher). මෙලෙස විවිධ ධූමකේතු හා ග්රහක නිසා ඇතිවන උල්කාපාත වර්ෂා වසර පුරා දක්නට ලැබේ. Geminids, Perseids, Leonids, Lyrids ඒ අතරින් කිහිපයකි. මේ උල්කාපාත වර්ෂාවන් නම් කරනු ලබන්නේ කලින් සඳහන් කරන ලද උල්කාපාත පැමිණෙන ප්‍රදේශය (Radiant) අයත්වන තාරකා රටාවේ නමිනි. උදාහරණයක් ලෙස මේ දින වල දිස් වන ලයිරිඩ්ස් (Lyrids) උල්කාපාත වර්ෂාවට එම නම යොදා ඇත්තේ එහි උල්කාපාතවල ගමන් මාර්ගය ආරම්භ වන්නේ එනම් Radiant එක පිහිටා ඇත්තේ ලයිරා (Lyra) තාරකා රටාවේ දීප්තිමත්ම තරුව වන වේගා (Vega) තරුවට මදක් එපිටින් වීම නිසාවෙනි. ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතම දිනය වනුයේ අප්‍රේල් 22 දින වේ.
Lyrids උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් අනෙක් උල්කාපාත වර්ෂා වලට වඩා ක්‍රියාකාරී බවින් අඩු වේ. උල්කාපාත වර්ෂාවක ක්‍රියාකාරී බව මනින්නේ ZHR (zenithal hourly rate) අගයෙනි.ඉතාමත් පැහැදිලි අහසක් ඇති විට radiant එක දෘශ්‍ය නිරීක්ෂකයාගේ හිස් මුදුනේ තිබෙන විට පැයකට එම නිරීක්ෂකයාට දැක ගත හැකි උල්කාපාත සංඛ්‍යාව ZHR අගය ලෙස හැදින්වෙයි. Lyrids උල්කාපාත වර්ෂාවේ ZHR අගය 10 පමණ වේ.
උල්කාපාත වර්ෂාව නරඹන්නේ කෙසේද?
ඔබ උල්කාපාත වර්ෂාව නැරඹීමට ගොස් විනාඩි කිහිපයක් පමණක් බලා සිටීමෙන් කිසිවක් දැකගත හැකි නොවේ. මන්ද උල්කාපාත වර්ෂාවක මුල් දින කිහිපයේ ඔබට පැයක් තුල දැකිය හැක්කේ උල්කාපාත කිහිපයක් පමණක් වීමයි.
නිරීක්ෂණ කටයුතු සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබගේ ඇස අඳුරට හුරුකරගත යුතුවේ.
ඒ සදහා විනාඩි 10ක් පමණ අඳුරේ සිටීම ප්‍රමාණවත්. නීරීක්ෂණ කටයුතු සඳහා ආලෝකයෙන් බාධා ඇති නොවන අඳුරු ස්ථනයක් තෝරාගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් මේ දින වල රාත්‍රී 12න් පමණ පසු ලයිරා තාරකා රටාව ඊසාන දිශාවට ආසන්නව අංශක 40-50 ක පමණ උන්නතාංශයකින් (Altitude) දැකගත හැකි වේ. එතැන් සිට හිරු උදාවනතුරු මෙය නිරීක්ෂණය කළ හැකි වේ.
ඔබ තාරකා විද්‍යාවට නවකයෙක් නම් උල්කාපාත වර්ෂාව සොයාගැනීමට පහසුම ක්‍රමය වනුයේ ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application) භාවිත කිරීමයි. මෙම යෙදවුම හා දුරකථනයේ accelerometer භාවිතයෙන් ඉතා පහසුවෙන් ලයිරා තරු රටාව හෝ ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව ඔබට සොයාගත හැක. ඒ සඳහා යොදාගතහැකි විවිධ ජංගම දුරකථන යෙදවුම් පහත දැක්වේ.
- Stellarium (iOS/Android) – $2.99
- Google Sky Map (Android) – Free
- Night Sky (iOS) – Free
- Sky Map
- Skywalk 2
Keywords: Lyrids, Lyra